February 11, 2026

2018 දී හඳුන්වා දුන් විදේශ මැදිහත්වීම් පිළිබඳ ඕස්ට්‍රේලියානු නීති කඩකළ චීන ජාතිකයන් දෙදෙනෙකු ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ නියෝග යටතේ සැකකරුවන් බෞද්ධ කණ්ඩායමක් පිළිබඳව ඔත්තු බැලූ බවට පොලිසිය චෝදනා කරයි.

“නොසැලකිලිමත් විදේශීය මැදිහත්වීම්” යන චෝදනාව මත 25 හැවිරිදි පුද්ගලයෙකු සහ 31 හැවිරිදි කාන්තාවක් එලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් ඔවුන් උපරිම වශයෙන් වසර 15 ක සිර දඬුවමකට යටත් විය හැකිය.

ඔස්ට්‍රේලියානු නීති යටතේ චීන ජාතිකයන්ට චෝදනා එල්ල වූ දෙවන අවස්ථාව මෙය වන අතර, ඔවුන් දෙදෙනා එසේ චෝදනා එල්ල වූ සිව්වන සහ පස්වන පුද්ගලයින් බවට පත්වේ.

පසුගිය අගෝස්තු මාසයේදී කැන්බරා අගනුවර ගුවාන් යින් සිටා බෞද්ධ කණ්ඩායම පිළිබඳ රහසිගතව තොරතුරු රැස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තවත් චීන කාන්තාවක් සමඟ ඔවුන් දෙදෙනා එක්ව කටයුතු කළ බවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය චෝදනා කරයි.

රටේ ප්‍රධාන දේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වන චීනයේ මහජන ආරක්ෂක කාර්යාංශයේ නියෝගය පරිදි ඔත්තු බැලීමේ කටයුතු සිදු කර ඇති බවට විශ්වාස කෙරේ.