November 13, 2026

දිට්වා සුළි කුණාටුවෙන් පසු පස් තට්ටු අස්ථාවර වූ ප්‍රදේශවල නායයෑම් සක්‍රීය වීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, බුලත්කොහුපිටිය සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ අයගම ප්‍රදේශවලට ද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, මහනුවර පාතදුම්බර, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් සහ හඟුරන්කෙත යන ප්‍රදේශ සඳහා ද මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ඔහු පැවසීය. පස් සෝදායෑමේ තත්ත්වයන් (වැලි ඛාදනය) ද සිදුවිය හැකි බැවින් ජලය සමඟ වැලි මිශ්‍ර වී ගලා යන අයුරු දැකගත හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය.

“මෙම පීඩන අවපාතය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් දිවයිනට බලපෑම් එල්ල විය හැකියි. නොවැම්බර් 13 වැනිදායින් පසු බස්නාහිර, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකියි,” යනුවෙන් ඔහු පැවසීය.

ලබන වසරේ ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකාවට සාමාන්‍යයෙන් තෙත් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත්, ‘එල් නිනෝ’ සංසිද්ධිය හේතුවෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලබන අනතුරු ඇඟවීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ. විනෝද චාරිකා යෑමෙන් සහ ගංගාවල දිය නෑමෙන් වළකින ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පසුගිය දෙසතිය තුළ දිවයිනේ අවදානම් සහගත ස්ථානවල දිය නෑමට යෑම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර ඇත.