March 22, 2026

පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමට තැත්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ හලාවත පොලිසිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත, කාක්කපල්ලිය හන්දියේ පිහිටි කොණ්ඩා මෝස්තර සැලුනයකදී මෙම සිදුවීම සිදුවී ඇති බව වාර්තා වේ.

‘119’ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබීමෙන් පසු හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් විමර්ශනය ආරම්භ කර ඇත.

වීඩියෝ දර්ශන පිළිබඳ මූලික පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, මෙම සිදුවීම 2025 අගෝස්තු මාසයේදී සිදු වූ බවත්, කොණ්ඩා කැපීම සඳහා සැලුනයට පැමිණි පිරිමි ළමයකු ඊට සම්බන්ධ බවත්ය.

ඒ අනුව, හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනා කාක්කපල්ලිය සහ බණ්ඩාරවත්ත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 54 සහ 58 වයස්වල පසුවන කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.