March 27, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ සිටියදී ඇමරිකානු මුදල් නෝට්ටු වල අත්සන තැබූ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිත බව එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඇමරිකාවේ 250 වැනි සංවත්සරය සනිටුහන් කරන නෝට්ටුවක ට්‍රම්ප්ගේ අත්සන භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සමඟ දිස්වනු ඇත.

එය පෙර නොවූ විරූ පියවරක් බව ද එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

“අපේ ශ්‍රේෂ්ඨ රට සහ ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්ගේ ඓතිහාසික ජයග්‍රහණ හඳුනා ගැනීමට ඔහුගේ නම දරන ඇමරිකානු ඩොලර් නෝට්ටුවලට වඩා බලවත් ක්‍රමයක් නැහැ,” යනුවෙන් බෙසන්ට් පැවසීය.

එක්සත් ජනපද මුදල් නෝට්ටුවල සාම්ප්‍රදායිකව ඇත්තේ භාණ්ඩාගාර නිලධාරීන්ගේ අත්සන්ය.

ට්‍රම්ප්ගේ නම රජයේ වැඩසටහන් සහ පොදු ගොඩනැගිලි රාශියකට සම්බන්ධ කිරීම පරිපාලනයේ නවතම පියවරයි.

ට්‍රම්ප් සහ බෙසන්ට්ගේ අත්සන් සහිත පළමු ඩොලර් 100 නෝට්ටුව ජුනි මාසයේදී මුද්‍රණය කෙරෙන අතර අනෙක් ඒවා පසුව මුද්‍රණය කිරීමට නියමිතය.

දැනට මුද්‍රණය කෙරෙන නෝට්ටුවල හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් සහ භාණ්ඩාගාරික ලින් මැලර්බාගේ අත්සන් ඇත.

1861 සිට ඇමරිකානු භාණ්ඩාගාරිකගේ අත්සන බැංකු නෝට්ටුවල දිස්වීම සම්ප්‍රදායක් වී ඇති අතර, එය ට්‍රම්ප් පරිපාලනයේ සැලසුම් යටතේ අවසන් වන සම්ප්‍රදායකි.

250 වැනි සංවත්සරයට පෙර, ට්‍රම්ප්ගේ නම දරන මුදල් මුද්‍රණය කිරීම “අපේ ශ්‍රේෂ්ඨ රටේ ඓතිහාසික ජයග්‍රහණ හඳුනාගැනීමට බලවත් ක්‍රමයක්” වනු ඇතැයි බෙසන්ට් පැවසීය.

වත්මන් එක්සත් ජනපද භාණ්ඩාගාරික බ්‍රැන්ඩන් බීච් රටේ මුදල් “සමෘද්ධියේ, ශක්තියේ සහ ඇමරිකානු ජනතාවගේ නොසැලෙන ආත්මයේ සංකේතයක් ලෙස දිගටම පවතිනු ඇත” යනුවෙන් ප්‍රතිඥා දුන්නේය.

මුල් ඇමරිකානු යටත් විජිත ප්‍රාන්ත13 සඳහා පසුව බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කිරීමේ විධිමත් ප්‍රකාශයේ 250 වැනි සංවත්සරය මෙම වසරේ උදාවේ.

මෙම මස මුලදී, ෆෙඩරල් කලා කොමිසමක් ට්‍රම්ප්ගේ රූපය සහිත කැරට් 24 රන් කාසියක් අනුමත කළ අතර එය ද ඇමරිකාවේ 250 වැනි උපන්දිනය සැමරීම සඳහා විය.

ජනාධිපති ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ, කොවිඩ්-19 වසංගතය අතරතුර මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට යවන ලද ආධාරක චෙක්පත්වල ද ඔහුගේ නම සටහන් කර තිබෙනු දක්නට ලැබිණි.