August 2, 2026

පේරු රාජ්‍යයේ සංචාරකයින් පිරිසක් රැගෙන ගිය කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව පේරු බලධාරීන් තහවුරු කරයි.

Cessna Caravan C-208 වර්ගයේ මෙම ගුවන් යානය සෙනසුරාදා දින සුප්‍රකට නාස්කා රේඛා පුරාවිද්‍යා භූමියට ඉහළින් පියාසර කරමින් තිබියදී මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ එහි සංචාරකයින් 11 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු සිට ඇති බව සඳහන් වේ.

මියගිය සංචාරකයින් අතර ජර්මානු ජාතිකයින් දෙදෙනෙකු, ස්පාඤ්ඤ ජාතිකයින් දෙදෙනෙකු සහ ඉතාලි ජාතිකයින් 7 දෙනෙකු සිටින බව පේරු රාජ්‍ය පුවත් සේවය වාර්තා කළේය. අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැත.

දකුණු පේරූ හි පිහිටි නාස්කා රේඛා යනු කාන්තාර වැලි මත අඳින ලද අතීත සත්ව රූප සහිත, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ජනප්‍රිය සංචාරක ආකර්ෂණයකි. මෙම දැවැන්ත රූප සටහන් පැහැදිලිව නැරඹීම සඳහා සංචාරකයින් බහුලවම භාවිත කරන්නේ මෙවැනි කුඩා ගුවන් යානා වේ.

“අනතුරේ පවතින බරපතලකම අනුව කිසිවෙකුත් ජීවත්ව සිටීමට ඉඩක් නැහැ. අප දැනට මළ සිරුරු හතරක් සොයාගෙන තිබෙනවා,” යැයි පොලිස් මේජර් ජෝර්ජ් අන්ද්‍රාදේ ප්‍රකාශ කළ බව AFP පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර් පුවත් සේවය ලබාගත් වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ අනතුරට ලක්වූ යානයේ සුන්බුන් අතරින් දුමාරය නැඟෙද්දී ගිනි නිවන භටයින් ජලය විසි කරමින් ගින්න නිවීමට උත්සාහ කරන ආකාරයයි.

නාස්කා ප්‍රාදේශීය නගර සභාව විසින් අන්තර්ජාලය ඔස්සේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, මෙම අනතුර පිළිබඳව තමන් දැඩි කනගාටුව පළ කරන අතර මියගිය පිරිස්වල පවුල්වලට ශෝකය පළ කරන බවයි.

එම නිවේදනයට අනුව අනතුරට ලක්වූ ගුවන් යානය පේරු හි දේශීය ගුවන් සේවයක් වන ‘ඇරෝඩියානා’ සමාගමට අයත් එකකි.