August 28, 2023

මුලතිව් කුරුන්දි විහාර භූමිය ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින්, කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය අංශය ඊයේ (27) සඳහන් කරයි.

මතභේදයට තුඩු දී ඇති කුරුන්දි ඓතිහාසික පුදබිම අවට වර්ධනය වී ඇති නොසන්සුන්තාව පිටුපස සිටි බව කියන පුද්ගලයෙක් බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කිසිවෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින්, කිසිදු පියවරක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පොලිසියට විධිමත් පැමිණිල්ලක් ලැබිය යුතු බවත්, පැමිණිල්ලක් හෝ අධිකරණ නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගැනීමක් කළ නොහැකි බවත්, ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත්, කුරුන්දි විහාරස්ථානයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් තවදුරටත් ක්‍රියාත්මක බවත්, පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඒවා දේශපාලන බලපෑමකින් තොරව සිදුකරන බවත්, හෙතෙම සඳහන් කර තිබේ.

මෙම හෙළිදරව්ව සිදුකර ඇත්තේ, ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා බැවින් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී ඇත්දැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ, තමන්ට එවැනි තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් එම ඓතිහාසික ස්ථානය සම්බන්ධයෙන් ගැටලු ඇති කිරීමට උත්සාහ කරන බවට දේශීය බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා පවසා ඇත.

ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි රට තුළ ඇති විය හැකි වාර්ගික සහ ආගමික නොසන්සුන්තාව පිළිබඳව අන්තර්ජාතික බුද්ධි අංශ රජයට කිසිදු අනතුරු ඇඟවීමක් කර නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේ සඳහන් කර තිබිණි.

දේශපාලන ප්‍රකෝපකාරී ලෙස රටේ ඇතැම් ස්ථානවල වාර්ගික හා ආගම්වාදී නොසන්සුන්තාවක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බව දේශීය බුද්ධි අංශ හඳුනාගෙන ඇති අතර, එම වර්ධනයන් පිළිබඳව රජය, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ඔහු පවසයි.