November 9, 2026

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකම දැකගත හැකි වූ සුදු සහ කහ පැහැති සමනල රංචු, මෝසම් වැසි සහ ධාරක ශාකවල වර්ධනයත් සමග සිදුවන ස්වාභාවික සෘතුමය සංක්‍රමණයක කොටසක් බව විශේෂඥයන් පැහැදිලි කර ඇත.

රත්නපුර, ගාල්ල සහ කොළඹ ඇතුළු ප්‍රදේශවලින් වාර්තා වූ මෙම සමනල රංචු සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයට ලක්ව ඇති අතර, මෙම සුවිශේෂී හැසිරීම ඉදිරියේදී පැමිණෙන ස්වාභාවික ආපදාවක පෙරනිමිත්තක්දැයි ඇතැමුන් ප්‍රශ්න කර තිබේ.

කෙසේවෙතත්, පර්යේෂණ සහ විශේෂඥ නිරීක්ෂණවලට අනුව මෙම සංසිද්ධිය දිවයින තුළ වරින් වර සිදුවන සංක්‍රමණයක් වන අතර, මෙයට ප්‍රධාන වශයෙන් ‘පියරිඩේ’ (Pieridae) කුලයට අයත් සමනලුන් සම්බන්ධ වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ක්ෂේත්‍ර අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංක්‍රමණ කාලසීමාවන් දෙකක් හඳුනාගෙන ඇත. එනම් දෙවැනි අන්තර් මෝසම් කාලයේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා පවතින ප්‍රධාන සංක්‍රමණ සමය සහ පළමු අන්තර් මෝසම් කාලයේ මාර්තු සිට අප්‍රේල් දක්වා පවතින කුඩා සංක්‍රමණ සමයයි.

සමනල විශේෂඥ හිමේෂ් ජයසිංහ පැහැදිලි කර ඇත්තේ, මෝසම් වැසි මගින් ධාරක ශාකවල වර්ධනය උත්තේජනය වන අතර, එමගින් කීටයන්ට නව දලු සහ සමනලුන්ට බිත්තර දැමීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන බවයි. මෙලෙස සමනල ගහනය ඉහළ යාම හේතුවෙන් ආහාර සහ බෝවන ස්ථාන සොයා ඔවුන් සංක්‍රමණය වීමට පෙළඹෙන අතර, එමගින් සම්පත් සඳහා ඇති වන තරගකාරිත්වය අඩුවේ.

මහාචාර්ය කපිල දිසානායක සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් විසින් සිදු කරන ලදුව, 2024 Taprobanica සඟරාවේ පළ වූ පර්යේෂණයකින් සංක්‍රමණික විශේෂ තුනක් හඳුනාගෙන ඇත: ‘Lesser Albatross’ (Appias galene), ‘Common Albatross’ (Appias albina) සහ ‘Lemon Emigrant’ (Catopsilia pomona).

දිවයින පුරා ස්ථාන 60 කදී සිදුකරන ලද නිරීක්ෂණ මත පදනම්ව, පර්යේෂකයන් ප්‍රධාන පියාසර මාර්ග තුනක් හඳුනාගෙන ඇති අතර, එහි ප්‍රධාන සංක්‍රමණ මාර්ගය ගිනිකොන දෙසින් වයඹ දෙසට, එනම් කුමන ජාතික උද්‍යානයේ කැබිලිත්ත සිට විල්පත්තුව දක්වා දිවයයි.

මෙම සමනල්ලු පැයට කිලෝමීටර 11 ක පමණ සාමාන්‍ය වේගයකින් පියාසර කරන අතර, කිලෝමීටර 280 ක පමණ මෙම ගමන දින තුනක් හෝ හතරක් ඇතුළත නිමකරති.

සමනලුන් ශ්‍රී පාදය දෙසට සංක්‍රමණය වන බවට ඇති සාම්ප්‍රදායික විශ්වාසයටද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇති බව විශේෂඥයෝ පැවසූහ. ‘Hill-topping’ ලෙස හඳුන්වන මෙම හැසිරීමේදී, ශ්‍රී පාදය සහ කිරිගල්පොත්ත වැනි උසින් වැඩි ස්ථාන වෙත සමනලුන් එකතු වන අතර, එහි ඇති උස සහ උෂ්ණත්ව වෙනස්වීම් ඔවුන්ට සහකරුවන් සොයාගැනීමට උපකාරී වේ.

කෙසේවෙතත්, ක්ෂේත්‍ර අධ්‍යයනයන්ට අනුව බොහෝ ‘Albatross’ සමනලුන් ශ්‍රී පාදයට වඩා වයඹ දෙසට සංක්‍රමණය වන බව පෙන්නුම් කරයි.

විශාල සමනල සංක්‍රමණ යනු ඉදිරියේදී සිදුවන ස්වාභාවික ආපදාවල පූර්ව අනතුරු ඇඟවීම් යන ප්‍රකාශ විශේෂඥයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, එවැනි සම්බන්ධතාවයක් තහවුරු කිරීමට විද්‍යාත්මක සාක්ෂි නොමැති බව සඳහන් කරයි. සමනලුන් වායුගෝලීය පීඩනය, ආර්ද්‍රතාවය, උෂ්ණත්වය සහ සුළං වෙනස්වීම්වලට සංවේදී වුවද, ඔවුන්ගේ චලනයන් චක්‍රවාත හෝ වෙනත් ආපදාවල නිල අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය නොහැක.

මේ අතර, අතීතයට සාපේක්ෂව සමනල ගහනයේ සහ සංක්‍රමණික ක්‍රියාකාරකම්වල අඩුවීමක් පර්යේෂකයන් නිරීක්ෂණය කර ඇත. දේශගුණික විපර්යාසවලට සම්බන්ධ විෂම මෝසම් රටා මගින් උන්ගේ බෝවීමේ චක්‍ර කඩාකප්පල් විය හැකි අතර, ගිනියා තණකොළ සහ ගඳපාන (Lantana camara) වැනි ආක්‍රමණශීලී ශාක මගින් තෝර විශේෂ ඇතුළු දේශීය ධාරක ශාකවලට බලපෑම් එල්ල වී ඇත.

මෙම ශාක විනාශ වීම නිසා සුදුසු ප්‍රජනන සහ ආහාර ගැනීමේ ස්ථාන අඩුවීමෙන් සංක්‍රමණික සමනල විශේෂයන්ට තර්ජනයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමයේ හිටපු සභාපතිනිය පැවසුවේ නිරිතදිග සහ ඊසානදිග මෝසම් අතර ඔක්තෝබර්-නොවැම්බර් කාලසීමාව වියළි කලාපයේ ධාරක ශාක වර්ධනයට හිතකර පරිසරයක් නිර්මාණය කරන අතර, එමගින් සමනල ගහනය ඉහළ යාමටත් දිවයින පුරා ව්‍යාප්ත වීමටත් උදවු වන බවයි.

ඇය වැඩිදුරටත් පැවසුවේ මෑතකදී නිරීක්ෂණය වූ මෙම සංසිද්ධිය විදේශයන්ගෙන් සමනලුන් පැමිණීමක් නොව, මෙම ස්වාභාවික අභ්‍යන්තර සංක්‍රමණයේම කොටසක් බවයි.