January 1, 2024

කොවිඩ් -19 රෝගය සොයාබැලීමට රෝහල්වල පරීක්ෂණ කට්ටල නොමැති අතර, එම පරීක්ෂණ කට්ටල වෛද්‍යවරුන් ඉල්ලුම් නොකරන බවත්, එසේ ඔවුන් ඉල්ලුම් නොකරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය එපා කියන නිසා බවත්, වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය එලෙස වෛද්‍යවරුන් හට පරීක්ෂණ කට්ටල ඉල්ලුම් නොකරන ලෙස පවසන්නේ කොවිඩ්-19 ගැන ඇත්ත අදහස ජනතාවට හෙළිදරව් වනවාට අකමැති නිසා බවත්, ඒ අනුව, රටට කොව්ඩ්-19 පිළිබඳව නිවැරදි අදහසක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශය නිසා බවත්, සභාපතිවරයා පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කර තිබේ.

”කොවිඩ් ගැන රට අදහසක් නෑ. රෝහල්වල පරීක්ෂණ කරන්නේ නෑ. පරීක්ෂණ කරන්න පරීක්ෂණ කට්ටල නෑ. කට්ටල නැත්තේ ඉල්ලුම් කරන්නේ නැති නිසා. ඉල්ලුම නොකරන්නේ පරීක්ෂණ එන්නේ නැති නිසා. පරීක්ෂණ නැතිතේ කොව්ඩ් නැති නිසා නෙවේ, වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණ ඉල්ලුම් නොකරන නිසා. ඔවුන් පරීක්ෂණ ඉල්ලුම් නොකරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය එපා කියන නිසා. සෞඛ්‍ය අමාත්‍යාංශය එපා කියන්නේ කොවිඩ් ගැන ඇත්ත අදහස හෙළිදරව් වෙනවට අකමැති නිසා. ඒ අනුව, රටට කොව්ඩ් ගැන හරි අදහසක් ලබාගන්න බැරි වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසා.

කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ වනවිට රෝහල් මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමය පිළිබඳව අප සෑහීමකට පත් වෙන්නේ නෑ. මේ වනවිට රෝහල්වලට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරුන් විසින් කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් සඳහා පරීක්ෂණ සිදුකිරීමේ පහසුකමක් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව ක්‍රියාත්මක වෙන්නේ නෑ. කොවිඩ් පමණක් නොව ඕනෑම රෝගයකදී අනුමාන කරන රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, කොවිඩ් සඳහා පමණක් එය එලෙස ක්‍රියා නොකිරීමට වග බලාගෙන ඇත්තේ කිනම් හේතුවක් නිසාද යන්න තවදුටත් පැහැදිලි විය යුතුයි.

කෙසේනමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව, වෛද්‍ය පර්යේෂණ ආයතනය නියැදි පරීක්ෂාවක් සිදුකරන බව සඳහන් වුණත්, එමගින් ලබාගත් නිගමනය පමණක් රටට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නැහැ. එම නියැදි පරීක්ෂාව සඳහා නිදර්ශක එකතුකර ගත් අකාරය ඇතුළු එම පර්යේෂණයේ ප්‍රතිඵලවලට අදාල පූර්ණ වාර්තාවක් හෙළිදරව් කරන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා.

එසේම, ඉතා කෙටි කලක් තුළ කල් ඉකුත් වී ඉවත දැමීමට සිදුවන ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල පැවතියදී පවා රෝහල් මට්ටමෙන් හමුවන සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම මගහරිමින්, කිසිවෙකුත් නොදන්නා නියැදි පරීක්ෂාවකින් අවසන් නිගමනයකට අනවශ්‍ය ගැටළු රැසකට හේතු විය හැකි බවද, අප ඉතා ඕනෑකමින් පෙන්වා දෙනවා.”