October 24, 2026

විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ සිවුර ඉවත්කිරීම සම්බන්ධයෙන් නියෝග ලබාදීමට අධිකරණයට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල පැවැසීය.

විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලමින් විනිසුරුවරයා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල සඳහන් කළේ, විවිධ වැරදිවලට වරදකරුවන් වී බන්ධනාගාරගතව තවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සිටින බවයි.
“යම් යම් වැරදිවලට වරදකරුවන් වී බන්ධනාගාරගතව තවත් හිමිවරුන් විශාල පිරිසක් ඉන්නවා. දැන් එතකොට ඒ සියලුම හාමුදුරුවරු නැවත අධිකරණයට ඉදිරිපත් කරන්න වෙන්නේ මහානායක හිමිවරුන් විසින් සිවුරු අන්දවලද? චූදිතගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් නියෝග ලබාදෙන්න අධිකරණයට හැකියාවක් නෑ!” .

මීට අමතරව, 2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත යටතේ වරද පිළිගැනීමේ ගිවිසුමක් මත දෙපාර්ශ්වයම එකඟතා ගිවිසුමකට පැමිණෙනවාද නැද්ද යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා දෙපාර්ශ්වයට නියෝග කළේය.