August 28, 2023

හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දින 09ක් පැවැති 2023 – ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශුරතාව රන් පදක්කම් 12ක් ජයග්‍රහණය කළ අමරිකාවට හිමිවිය.

ඔවුන් තරගාවලියේදී රීදි පදක්කම් 08ක් සහ ලෝකඩ පදක්කම් 09ක් ජයගෙන තිබිණි.

ඊයේ අවසන්වූ තරගාවලියේ පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය රන් පදක්කම් 04ක් රිදී පදක්කම් 02ක් සමගින්  කැනඩාවට හිමිවූ අතර, රන් පදක්කම් 04ක් සහ එක් රිදී පදක්කමක් ලබාගත් ස්පාඤ්ඤයට තෙවැනි තැන හිමිවිය.

රන් පදක්කම් තුන බැගින් ලබා ගත් ජැමෙයිකාවට හතරවැනි තැනත් කෙන්යාවට 05වැනි තැනත් හිමිවිය.

රටවල් 195ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2100ක සහභාගිත්වයෙන්  හංගේරියානු අගනුවර පැවැති මෙවර තරගාවලිය රටවල් 120 ක ප්‍රේක්ෂකයන් 400,000කට වැඩි පිරිසක් ප්‍රවේශපත්‍ර මිලදීගෙන නරඹා තිබේ.

තරගාවලිය තුළ එක් ලෝක වාර්තාවක්, එක් ලෝක වයස අවුරුදු 20න් පහළ වාර්තාවක්, ශූරතා වාර්තා හතක්, මෙන්ම ජාතික වාර්තා 73ක්  පිහිටුවන ලදී.

මෙවර තරගාවලියේ දි  මීටර් 100 සහ 200 ඉසව් දෙකෙහිම ලෝක ශූරයා බවට ඇමරිකාවෙි නෝහා ලයිල්ස් (Noah Lyles) පත්විය.

ඒ උසේන් බෝල්ට්ට පසු ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක එම දක්ෂතාව දැක්වූ පළමු ක්‍රීඩකයා බවටත් පත් වෙමිනි.

ලොව වේගවත්ම කාන්තාව ලෙස මිටර 100 ඉසව්ව ජයගත් අමෙරිකාවේ 23 හැවිරිදි ෂකාරි රිචඩ්සන් පත්වූයේ තරගාවලි වාර්තාවක්ද සමගිනි.

මීටර 200 කාන්තා රන් පදක්කම ජැමෙයිකාවේ අසහාය ක්‍රීඩිකා ෂෙරීකා ජැක්සන් ජයග්‍රහණය කළේ සිය ආධිපත්‍යය රැකගනිමිනි.

ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියට මෙවර සහභාගි වූ ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට දක්ෂතා අතරට පැමිණිමට නොහැකිවිය.

මිටර 400 සහාය දිවිමේ පිරිමි ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවට එහි 17වන ස්ථානයේ හිමිවූ අතර,කාන්තා හෙල්ලය විසිකිරීමේ ඉසව්වට සහභාගි වු නදීෂා ලේකම්ගේ මූලික වටයෙන්ම ඉවත් වුයේ 14වන තැනට පසුවෙමිනි.

මීළඟ ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලිය 2025 වසරේ සැප්තැම්බර් මසදි ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ.