March 17, 2026

හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් අනාරක්ෂිත පසුබිමක ඉන්ධන මිල ගණන් පහත වැටෙනු ඇති බවට සහතිකයක් ලබාදිය නොහැකි යැයි අමෙරිකාවේ බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ ධවල මන්දිරය මීට පෙර ප්‍රකාශ කළේ, ඉන්ධන මිල ඉහළ යාම දේශපාලනික වාසියක් අත්කරදෙන කෙටිකාලීන බලපෑමක් බවය.

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිල ගණන්වලටත් වඩා, ඉන්ධන මිල ඉදිරියේදී පහල යනු ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කරන ලදී.

කෙසේනමුත් අමෙරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුවේම, තොරතුරු පරිපාලන අංශයේ පුරෝකථනවලට අනුව ගැටුම්වලට පෙර පැවති මිල ගණන් දක්වා ඉන්ධන මිල පහල යාමක් සිදුවිය හැක්කේ 2027 වසරේ අග භාගයෙදී බව සඳහන් වේ.

අමෙරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ගණන් මේ වන විට ඩොලර් 3යි සත 70 ඉක්මවා ගොස් තිබේ.

මීට මාසයකට පමණ පෙර අමෙරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 2යි සත 9ක් ලෙසින් සටහන් වුණි.

මේ අතර අන්තර්ජාතික බලශක්ති ඒජන්සිය විසින් නිදහස් කරන බවට නිවේදනය කළ බොරතෙල් බැරල් මිලියන 400ක හදිසි සංචිතය මාර්තු මාසය අග වන විට නිදහස් කෙරෙනු ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

ඒ අතරට අමෙරිකාවෙන් බොරතෙල් බැරල් මිලියන 172 ක් සහ යුරෝපයේ රටවලින් නිදහස් කෙරෙන බොරතෙල් බැරල් මිලියන 107යි දශම 5ක් ඇතුලත් වේ.