February 23, 2026

මෙක්සිකානු ආරක්ෂක අංශ විසින් රටේ බලවත්ම අපරාධ සංවිධානයකට නායකත්වය දුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කර ඇති අතර ඒ හමුවේ ජාලිස්කෝ ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩතා රැල්ලක් නිර්මාණය වී තිබේ.

මෙක්සිකානු ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලය පැවසුවේ “එල් මෙන්චෝ” ලෙසද හැඳින්වෙන නෙමේසියෝ රූබන් ඔසෙගුරා සර්වන්ටෙස් නමැති කාටෙල් නායකයා ජාලිස්කෝ ප්‍රාන්තයේ ටැපල්පා නගරයේ සොල්දාදුවන් සමඟ ඇති වූ ගැටුමකින් තුවාල ලබා මෙක්සිකෝ නගරයට ගුවන් මගින් රැගෙන යමින් සිටියදී මියගිය බවයි.

ඔහුගේ හිසට එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 15ක ත්‍යාගයක් නියම කර තිබිණි.

හමුදාවේ මෙහෙයුම ප්‍රචණ්ඩත්වයේ රැල්ලක් ඇති කළ අතර, තුවක්කුකරුවන් ජාලිස්කෝ, කොලිමා, මිචෝකන්, නයාරිට්, ගුවානජුවාටෝ සහ ටමෞලිපාස් ඇතුළු ප්‍රාන්ත රැසක මෝටර් රථවලට ගිනිතබා මහාමාර්ග අවහිර කර තිබේ.

එළඹෙන පාපන්දු ලෝක කුසලානයේ තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිත ජාලිස්කෝ ප්‍රාන්තයේ අගනුවර වන ග්වාඩලජාරා ඉරිදා රාත්‍රියේ ජනශුන්‍ය කලාපයක් ලෙස දිස්වූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවලින් පෙන්නුම් කළේ බියට පත් පිරිස්, ග්වාඩලජාරා ගුවන් තොටුපළ හරහා වේගයෙන් දිවයන ආකාරය සහ සංචාරක නගරයක් වන පුවර්ටෝ වල්ලර්ටා තුළ දුමාරයක් නැඟෙන ආකාරයයි.

ජාලිස්කෝ ආණ්ඩුකාර පැබ්ලෝ ලෙමස් ජනතාවට නිවෙස් තුළ රැඳී සිටින ලෙසට උපදෙස් නිකුත් කර තිබූ අතර පොදු ප්‍රවාහනය අත්හිටුවන ලදී.

එමෙන්ම අද දිනයේදී ප්‍රාන්ත කිහිපයක පාසල් වසා දමා තිබිණි.

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් X හි සටහනකින් රටේ ආරක්ෂක හමුදාවන්ට ප්‍රශංසා කළ අතර සන්සුන්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියාය.