August 16, 2023

අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට හා විදේශ විනිමය උත්පාදනයට අවශ්‍ය ඖෂධීය ශාඛ වගා කිරීම පිළිබඳ වූ වගන්තිවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පවසයි.

කෙසේවෙතත් ශාඛ අතරට, මේ වන විට රාජ්‍ය මට්ටමින් සාකච්ඡාවට බඳුන්වී ඇති කංසා ශාඛය ඇතුළත්දැයි රාජ්‍ය ඇමැතිවරයා අනාවරණය කළේ නැත.

මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිටමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි සඳහන් කරයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළකර ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පවසා තිබේ.

”1961 දී ඇතිකළ ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා .ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියමයන්ට යටත්ව ආයුර්වේද පනතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට හා විදේශ විනිමය උත්පාදනයට අවශ්‍ය ඖෂධීය ශාඛ වගා කිරීම පිළිබඳ වූ වගන්තිවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ වගේම ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවක් ඇති කර ගැනීම සඳහා එහි සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් රැසක් අප සංශෝධන වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ද ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට අපේක්ෂා කරනවා.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් ලෙස වාණිජ වටිනාකමක් සහිතව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දැන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා. එළැඹෙන සැප්තැම්බර් 08,09 සහ 10 දිනවල දේශීය වෛද්‍ය අධ්‍යාපන හා වෙළෙඳ අන්තර්ජාතික ප්‍රදර්ශනයක් හා සමුළුවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම ප්‍රදර්ශනයට විවිධ රටවල නියෝජිතයන් සහභාගී වෙනවා. අපේ රටේ ආයුර්වේද නිෂ්පාදන අපනයනය සඳහා අවශ්‍ය වෙළෙඳපොළ සොයා බැලීම සහ ඒ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් ද මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතයි.”