September 3, 2026

උණවටුන ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ හෝටලයක ලැගුම්ගෙන සිටි 63 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික කටයුතු සඳහා ඇරියුම් කරමින් ලිඛිත සටහන් ඇගේ කාමරයේ දොර යටින් තැබූ ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනකු උණවටුන සංචාරක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සති එකහමාරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවට පැමිණ උණවටුන ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි මෙම ඕස්ට්‍රේලියානු කාන්තාව රැඳීසිටි කාමරයට ආසන්න කාමරයක දෙහිවල සහ පානදුර ප්‍රදේශවල පදිංචි අදාළ සැකකරුවන් තිදෙනා ද නවාතැන්ගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද මෙම ඇරියුම් පත් ඇගේ කාමරයේ දොර යටින් තබා ඇති අතර, එම කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හබරාදූව පොලිසිය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ දිනයේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. (Daily Mirror)