September 3, 2026

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරූ සිය කණගාටුව සහ කටයුතු සිදු වූ ආකාරය පිළිබඳ සැකය පළකර තිබේ.

අධිකරණ නඩු කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පෙනීසිටි ස්ටීවන් තිරූ පැවසුවේ, කරුණු දැක්වීම් අවසානයේ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට වාචිකව පිළිතුරු දැක්වීමට අවස්ථාවක් නොදීම ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවයි.

ඔහු සඳහන් කරන පරිදි, පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් වාචිකව පිළිතුරු දීමට අවස්ථාවක් ඉල්ලා සිටියද, ඒ වෙනුවට ඔවුන්ට දැනුම් දී ඇත්තේ තම පිළිතුරු ලිඛිතව ලබාදෙන ලෙසයි.

මෙවැනි ඉතා වැදගත් නඩුවලදී සාමාන්‍යයෙන් නීතිඥවරුන්ට වාචිකව පිළිතුරු දීමට අවස්ථාව හිමිවන බවත්, මෙහිදී සිදු වූ දෙය ඉතා අසාමාන්‍ය මෙන්ම අවාසනාවන්ත සිදුවීමක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමනිසා පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට වාචිකව පිළිතුරු දීමට ඉඩ දිය යුතුව තිබූ බවද ඔහු පෙන්වාදෙයි.

යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය නිරීක්ෂණය කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිවරයා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.