November 10, 2023

පාසල් දරුවන්ගේ දිනක පෝෂණ ආහාර වේල නවතා එම මුදල විදුහල්පතිවරයකුගේ සාදයක් සඳහා ලබාගෙන ඇති පුවතක් උතුරු මැද පළාතින් වාර්තා වේ.

පෝෂණ ඌණතා ඇති පාසල් දරුවන්ට දෙන දිවා ආහාර වේලට අයත් දිනෙක වියදම මෙසේ ලබාගත් විදුහල්පතිවරයා එදින කෑම වේල තම නිවසින් රැගෙන එන ලෙස දරුවන් වෙත උපදෙස් ලබා දී මෙම වංචාව සිදුකර ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම අරමුණු කර ගනිමින් ලබාදෙන මෙම ආහාර වේල සඳහා ද විදුහල්පතිවරයකු මෙසේ කිරීම ඇදහිය නොහැකි කරුණක් බවත්, එම වරද කළ පුද්ගලයාට එරෙහිව මේ වනවිටත් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත්, උතුරු මැද පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා පෝෂණ) බී.පී.පී.හේවමානගේ පවසයි.

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ කටයුතු පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා පසුගියදා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ පැවැති රැස්වීමකදී ඔහු මේ බව පවසා ඇත. (මව්බිම)