October 21, 2026

මාර්ග පදික මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ කාලසටහන් භාරකරුවෙකු (Timekeeper) බස් රථ හිමියෙකුගෙන් රුපියල් 100ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, රද්දොළුගම බස් නැවතුම්පොළේ පිහිටි කාලසටහන් භාරකරුගේ කුටිය තුළදීය.

රද්දොළුගම සහ කොළඹ අතර 188 ධාවන මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථයක හිමිකරුවෙකුගෙන් සැකකරු විසින් මෙලෙස අල්ලස් මුදල් ඉල්ලා තිබේ.

නිල ලේඛනවල සටහන් කර ඇති නියමිත පිටත්වීමේ වේලාවට පසුව බස් රථයට පිටත්ව යාමට ඉඩදීම සහ බස් රථය සඳහා වාසිදායක ලෙස ධාවන කටයුතු කිරීමට අවස්ථාව සැලසීම වෙනුවෙන් සැකකරු විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.