January 18, 2024

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවය කරන රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරීහු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පෙරේදා (16) පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම කණ්ඩායම හිංසනවලට ලක්වූ සේවිකාවන් සහ එම අංශයේ නිලධාරීන් 20කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

පරීක්ෂණ කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැඳී සිටිමින් ඊයේ (17) දිනයේත් විමර්ශන කටයුතු සිදුකර ඇත.

අද (18) දිනයේත් එම විමර්ශන පැවැත්වීමට නියමිතය.

විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශේෂ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප පුවත්පත’ට පවසා ඇත.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම ලිංගික හිංසන සිද්ධිය සිදු වූ බව පැවසෙන්නේ, පසුගිය වසරේ මුල් කාලයේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් මූලික විමර්ශන පවත්වා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට බාර දී ඇත.

අනතුරුව පාර්ලිමේන්තු ප්‍රධානීන් එම විමර්ශන වාර්තා නීතිපතිවරයාට යොමු කළ අතර, නීතිපතිවරයා එම විමර්ශන පොලිසියට බාරදෙන ලෙස උපදෙස් දී තිබේ.

මේ අනුව පාර්ලිමේන්තු ප්‍රධානීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

පොලිස් ළමා කාන්තා කාර්යාංශය මේ විමර්ශනය ආරම්භ කර ඇත්තේ ඒ අනුවය.

මෙම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

මේ පිළිබඳ විමර්ශන පවත්වනු ලබන්නේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසිනි.