June 24, 2026

රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරු කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දුවට ජනතාවට අත්පොළසන් දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක බලාපොරොත්තු වූයේ දැයි විපක්ෂය ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මෙහිදී ජනාධිපතිවරයා මැයි දිනයේදී කළ ප්‍රකාශයක් සිහිපත් කළහ. මැයි 25 වැනිදා දේශපාලනඥයෙකුට එරෙහිව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ නඩු තීන්දුවක් ගැන පවසමින්, ඊට අප්පුඩි ගැසීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා එහිදී ජනතාවට පවසා තිබුණි. කෙසේවෙතත්, එදින දේශපාලනඥයකුට එරෙහිව අධිකරණයකින් ප්‍රකාශයට පත් කළ එකම තීන්දුව මන්ත්‍රී විජේසිරිට එරෙහි තීන්දුව පමණක් බව විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වාදුන්හ.

“ජනාධිපතිවරයා මේ කියන්නේ මොන නඩුවක් ගැනද කියා අප කල්පනා කළා. එදින දේශපාලනඥයෙකුට එරෙහිව ලැබුණු එකම නඩු තීන්දුව වන්නේ, රථවාහන වරදකට මන්ත්‍රී විජේසිරි වරදකරු කළ නඩුව පමණක් බව අපට පෙනීගියා. මෙම නඩුව පවරා තිබුණේ මාර්ග අනතුරකින් පසු මන්ත්‍රීවරයා ඇති කරගත් බහින්බස් වීමක් සම්බන්ධයෙනුයි. කෙසේවෙතත්, මෙම නඩු තීන්දුව ගැන ජනාධිපතිවරයා කළින්ම දැනසිටියේ කෙසේද යන්න අපට ගැටලුවක්,” යැයි මන්ත්‍රී ඩී. වී. චානක පැවසීය.

ජනාධිපති අනුර දිසානායක මැයි 01 වැනිදා කළ මෙම ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බව ද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම, ජාතික ජන බලවේගයේ මහලේකම්වරයා ද මීට පෙර තම පක්ෂයේ සාමාජිකයන් කිහිපදෙනකු නිදොස් කොට නිදහස් කෙරෙන නඩු තීන්දුවක් පිළිබඳව කලින්ම අනාවැකි පළ කර තිබූ බව ද මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

ස්ථාවර නියෝගවලට අනුව මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගී සිට ඉල්ලා සිටියද, අධිකරණ ක්ෂේත්‍රයට අදාළ කරුණු පිළිබඳව විවාදයක් පැවැත්වීමට කථානායකවරයා අවසර නොදීම පිළිබඳව පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයා සිය නොසතුට පළකළේය.

ස්ථාවර නියෝග අනුව මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගී සිට ඉල්ලීම් කර තිබියදීත් විවාදයකට අවසර නොදුන් පළමු අවස්ථාව මෑත ඉතිහාසයේ මෙය වන බව ද ඔහු කීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ ප්‍රශ්න කර සිටියේ, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ පාලක පක්ෂයට හිසරදයක් වී සිටි නිසා ඔහුට මෙලෙස වරදකරු කර දඬුවම් පැමිණවූයේ ද යන්නයි.

“විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පාහේ සෑම දිනකම කථානායකවරයා සමඟ වාද විවාද ඇති කරගන්නවා. මන්ත්‍රීවරයා වරදකරු වීමට හේතුව එය විය හැකියි,” යැයි මන්ත්‍රී නලින් බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.