January 15, 2024

යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ වගන්ති සංස්කරණයන් මගින් හෝ නව වගන්ති ලබාදීමෙන් දැනට පවතින ගැටලුවලට ප්‍රමාණවත් ලෙස විසඳුම් නොලැබෙන බව ආසියානු අන්තර්ජාල සන්ධානය මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් වෙත ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කර තිබේ.

එම සන්ධානය පෙන්වා දී ඇත්තේ පනත් කෙටුම්පත ඵලදායී පමණක් නොව සමතුලිත සහ සමානුපාතික වීම සහතික කිරීම ද වැදගත් වන බවයි.

ඒ අනුව මෙම නීතිය පුළුල් සංශෝධන නොමැතිව යෝජිත නීති ක්‍රියාවේ යෙදවිය නොහැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිසර පද්ධතිය සැළකිව යුතු වර්ධන පසුබැස්මක් පවතින අතර, එය වෙනස් කිරීම සඳහා නවෝත්පාදන සහ ආයෝජන දිරිමත් කරන පරිසරයක් අත්‍යවශ්‍ය බව ද ආසියානු අන්තර්ජාල සන්ධානය පෙන්වා දී ඇත.

යෝජිත නීතිය වර්තමාන ස්වරූපයෙන් ඉදිරිපත් කළහොත්, එමගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය යටපත් කළ හැකි බව ද එම සන්ධානය පෙන්වාදෙයි.

අපරාධ වගකීම්, හැරවුම් කාලය, පරිශීලක දත්ත ප්‍රවේශය, සහ පනතේ අනෙකුත් තීරණාත්මක අංගයන් පිළිබඳ වත්මන් කෙටුම්පත නැවත සළකා බැලීමේ හදිසි අවශ්‍යතාව ද ඔවුන් අවධාරණය කරයි.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පරිශීලකයන් ආරක්ෂා කිරීම සහ පෝෂණය කරන අතර සමතුලිතතාවක් ඇති කරන බවට සහතික විය යුතු බවත්, ඩිජිටල් නවෝත්පාදනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කළයුතු බවත් ආසියානු අන්තර්ජාල සන්ධානය පවසයි.

වඩාත් ක්‍රියාකාරී සහ ඵලදායී ඔන්ලයින් ආරක්ෂණ පනතක් නිර්මාණය කිරීමට ගෝලීය හොඳම භාවිතයන් සමඟ ඉදිරියට යෑමේ වැදගත්කම ද එම සන්ධානය පෙන්වා දී තිබේ.