January 1, 2024

ඛනිජතෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරීක්ෂකයන් විසින් ඉන්ධනහල් හිමියන්ගෙන් සහ බෙදුම්කරුවන්ගෙන් සන්තෝසම් මුදල් සහ ඉන්ධන ලබාගැනීම පිළිබඳ ප්‍රශ්න කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු ප්‍රාදේශීය කළමනාකාරවරුන්ට ලිපියක් යොමුකර තිබේ.

මෙම ලිපිය යොමුකර ඇත්තේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කළ ප්‍රශ්න කිරීම් හමුවේය.

බටහිර, වයඹ, දකුණ, සබරගමුව, උතුර යන ප්‍රාදේශීය කළමනාකරුවන් වෙත යොමුකළ අදාළ ලිපියෙන් දැනුම්දී ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂකවරුන්ට ඉන්ධන පිරවුම්හල් හිමියන් මුදල් සහ ඉන්ධන ලබාදෙන බව අදාළ කමිටුවේදී අවධාරණය කෙරුණු බවයි.

අනෙකුත් තරගකාරී සමාගම්වල පරීක්ෂකවරුන්ට එවැනි වියදම් දැරීමට අවශ්‍ය නොවන බවද එම කමිටුවේදී ප්‍රකාශ වී ඇත.

සංස්ථාවේ නිලධාරීන් වෙනුවෙන් අමතර වියදම් දැරීමට පිරවුම්හල් හිමියන්ට සිදුවුවහොත් එය ලංකා ඛනිජ සංස්ථාවේ පැවැත්මට හානියක් වන බැවින් එම තත්ත්වය වහා වෙනස් කිරීමට ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම කඩිනමින් ගත යුතු බව ද අලෙවි කළමනාකරු දැනුම් දී තිබේ.

එවැනි සිදුවීම් නැවත සිදු වුවහොත් එය බරපතළ වරදක් බවත් එය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිසේත්ම අනුමත නොකරන තත්ත්වයක් බවත් ඔහු අවධාරණය කර තිබේ.

මේ අනුව අලෙවි කළමනාකරු සිය ප්‍රාදේශීය කළමනාකරුවන්ට දැනුම් දී ඇත්තේ තමන් යටතේ සිටින සියලුම විධායක/ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කර සොයාබලා විශේෂ වාර්තාවක් ලබා දීමට පියවර ගන්නා ලෙසයි.

ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීමේදී ක්ෂේත්‍ර නිලධාරීන් සහ සංස්ථා පරීක්‍ෂණ නිලධාරීන්ට බෙදුම්කරුවන් නිතර ඉන්ධන හෝ මුදල් ලබා දෙන්නේ ද, එසේ මුදල් හෝ ඉන්ධන ලබාදෙන බෙදුම්කරුවන් කවුද ,එසේ මුදල් හෝ ඉන්ධන ලබාගන්නා සංස්ථා පරික්ෂණ නිලධාරීන් හෝ ක්ෂේත්‍ර නිලධාරීන් කවුද යන්න එම වාර්තාවට ඇතුළත් විය යුතු බව දක්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව පරීක්ෂා කිරීමෙන් ඉන්ධනහල් හිමියන්ගෙන් සහ බෙදුම්කරුවන්ගෙන් ලබා ගන්නා ප්‍රකාශ ඔවුන්ගේ ලිපි ශීර්ෂයක නිල මුද්‍රාව සහිතව ලිඛිතව යොමුකළ යුතු බව ද අලෙවි කළමනාකරු ප්‍රාදේශීය කළමනාකාරවරුන්ට දන්වා ඇත.

එහෙත් සංස්ථා සේවකයන් පෙන්වා දෙන්නේ මේ අනුව සන්තෝසම් ලබා නොගන්නා බවට ලිපි කොපමණ ගණනක් අලෙවි කළමනාකාරයට ලැබී ඇද්ද යන්න ගැටලු සහගත බවයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පත්කර ඇත්තේ අල්ලස් ලබාගන්නා අය නීතියේ රැහැනට හසු කරගෙන අධිකරණය මගින් දඬුවම් පැමිණවීමට බවද සේවකයෝ පෙන්වා දෙති.

අල්ලස් ලබා දෙන සහ අල්ලස් ලබා ගන්නා අතලොස්සක් දෙනා තම හෘද සාක්ෂියට එකඟව මෙම ලිපියට අනුව කටයුතු කරයිද යන සැකය මතුවන බවද සේවකයෝ පෙන්වා දෙති.