November 16, 2026

ඉදිරි වසර තුන තුළ වෛද්‍ය තනතුරු ආසන්න වශයෙන් 7,000ක් සඳහා අනුමැතිය ලබා ගැනීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

කරාපිටිය, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් නව මහල් 10කින් යුත් ‘මහාචාර්ය වාට්ටු සංකීර්ණය’ (Professorial Ward Complex) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර, 2017 වසරෙන් පසු සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කළ පළමු අවස්ථාව මෙය බව ද සඳහන් කළේය.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,472 දෙනෙකු මේ වන විට පත්වීම් අපේක්ෂාවෙන් සිටින බවත්, දැනට පවතින නීතිමය කටයුතු අවසන් වූ වහාම පත්වීම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් ලබා දීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව හෙද නිලධාරීන් 3,000ක් සහ උපාධිධාරීන් 500ක් බඳවා ගැනීමට ද සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය පරිපාලකයින් ද ඇතුළුව මේ වන විට මෙරට සමස්ත වෛද්‍යවරුන් සංඛ්‍යාව 25,000ක් පමණ වන බවත්, දිවයින පුරා පිහිටි වෛද්‍ය පීඨ 12ක සිසුන් 12,000කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.