November 16, 2026

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරය යනු මෙරට දැඩි ආරක්ෂාවක් යටතේ පවතින ප්‍රධාන පෙළේ රඳවා තබාගැනීමේ මධ්‍යස්ථානයකි. එහෙත්, එම බන්ධනාගාරය තුළ සිටම සංවිධානාත්මක අපරාධකරුවකු විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් මෙහෙයවීමට සහයෝගය ලබා දී ඇතැයි නැඟී ඇති චෝදනා මේ වන විට ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයකු (SP) ඉලක්ක කරගනිමින් පොලිසිය සහ බන්ධනාගාර බුද්ධි අංශ විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශනවල ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ දැනට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ‘නිශාන්ත’ නමැත්තකු වෙතය. අදාළ බන්ධනාගාර අධිකාරීවරයා විසින් මෙම රැඳවියාට ජංගම දුරකථන, සිම් කාඩ්පත් සහ චාජර් වැනි සන්නිවේදන උපකරණ රහසිගතව ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයට සහ බන්ධනාගාර බුද්ධි අංශයට ලැබී ඇති බුද්ධි වාර්තා අනුව, මෙම පහසුකම් භාවිත කරමින් අදාළ පුද්ගලයා බන්ධනාගාරය තුළ සිටම බාහිර පාර්ශ්වයන් සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම අඛණ්ඩව කරගෙන ගොස් ඇති බව හෙළි වී ඇත.

පොලිස් ආරංචි මාර්ග පෙන්වාදෙන පරිදි, විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පල්ලේවත්ත ගමගේ චමින්ද දිල්රුක් නොහොත් ‘පරවි සුදා’ ගේ උපදෙස් මත අදාළ SPවරයා විසින් නිශාන්තගේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පසුබිම සකසා දී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

මේ අතර, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී ගිනිඅවි සන්තකයේ තබා ගැනීමට සම්බන්ධ සැකකරුවකු තවත් ශ්‍රී ලංකා ජාතිකයකු සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොඩපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

‘අප්පුහාමි’ යන අන්වර්ථ නාමයෙන් බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් අතර ප්‍රසිද්ධව සිටින නිශාන්ත, මීට පෙර හෙරොයින් කිලෝග්‍රෑම් දෙකක් සහ පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකි. වර්තමානයේ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියද, ඔහු අඛණ්ඩව බාහිර අපරාධ ජාලයන් සමඟ සබඳතා පවත්වමින් සිටින්නේ කෙසේද යන්න පිළිබඳව විමර්ශන අංශ දැඩි සැකයෙන් පසුවෙයි.

බන්ධනාගාර පද්ධතිය තුළ සුරක්ෂිතභාවය සහ විනය සුරැකීමට වගකිව යුතු ඉහළ පෙළේ නිලධාරියකු මෙවැනි නීතිවිරෝධී ජාලයකට අනුබල දුන්නේද යන්න තහවුරු කරගැනීම සඳහා ඉදිරියේදී තවත් තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.