November 16, 2026

දේශීය පොදු ප්‍රවාහන සේවාවන් මෙන්ම කලාපීය සහ අන්තර්ජාතික අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකාව තුළ විදුලි බස් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු බස් රථ නිෂ්පාදන සමාගමක් වන ‘කස්ටම් ඩෙනින්’ (Custom Denning) ආයෝජනය කිරීමට සූදානම් වේ.

දැනට මෙරට මාර්ගවල ධාවනය වන පහත් පතුල් සහිත ඩීසල් බස් රථ හා සසඳන විට, තම විදුලි බස් රථ මගින් වසර 15ක ආයු කාලයක් තුළ සමස්ත මෙහෙයුම් සහ නඩත්තු පිරිවැයෙන් සියයට 50ක පමණ ඉතිරියක් ලබා දිය හැකි බව එම සමාගම පුරෝකථනය කරයි. මේ හරහා ප්‍රවාහන පිරිවැය අවම වන අතරම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වාහන කලාපීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළට අපනයනය කිරීමේ නව අවස්ථා උදාවනු ඇති බව එම සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ආනයනික කොටස් එකලස් කිරීමට හෝ සම්පූර්ණ බස් රථ ආනයනය කිරීමට සීමා නොවී, දේශීයව චැසි සහ බස් රථ බඳ නිෂ්පාදනය කිරීම, තාක්ෂණය හුවමාරු කිරීම සහ අන්තර්ජාතික මෝටර් රථ ප්‍රමිතීන්ට අනුකූලව දේශීය අමතර කොටස් සැපයුම්කරුවන් සංවර්ධනය කිරීම කෙරෙහි මෙම යෝජිත වැඩසටහන මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ. ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ නිෂ්පාදන හැකියාවන් ස්ථාපිත කිරීම අරමුණු කරගත් මෙම කර්මාන්තශාලාව, මෙරට මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයේ වැදගත් ඉදිරි පියවරක් වනු ඇත.

මීට අමතරව, යුරෝපීය තාක්ෂණික හවුල්කරුවකු සමඟ එක්ව දේශීය බැටරි එකලස් කිරීමේ කර්මාන්තයක් ආරම්භ කිරීමට ද සමාගම යෝජනා කර තිබේ. ඒ හරහා නවීනතම බැටරි තාක්ෂණය මෙරටට ගෙන ඒමටත්, දේශීය තාක්ෂණික විශේෂඥතාව වර්ධනය කිරීමටත්, ශ්‍රී ලංකාව තුළ නව උපකාරක කර්මාන්තයක් ගොඩනැගීමටත් අවස්ථාව සැලසේ.

වසර 50කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ‘කස්ටම් ඩෙනින්’ සමාගම ඕස්ට්‍රේලියාවේ පැරණිතම බස් රථ නිෂ්පාදකයා වන අතර, ඔවුන්ගේ විදුලි බස් රථ මේ වන විටත් ඕස්ට්‍රේලියානු මාර්ගවල ධාවනය වේ. දැනටමත් මෙරට ක්‍රියාත්මක වන ඔවුන්ගේ ඉංජිනේරු කාර්යාලය පදනම් කරගනිමින් ඉදිකිරීමට යෝජිත මෙම නව කර්මාන්තශාලාව මගින් දේශීය ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් සහ වෘත්තිකයන් සඳහා සෘජු රැකියා අවස්ථා රැසක් නිර්මාණය වනු ඇත. එමෙන්ම, අමතර කොටස් සැපයුම්කරුවන් සහ අනුබද්ධ කර්මාන්ත හරහා වක්‍ර රැකියා අවස්ථා රාශියක් ද උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.