November 26, 2026

2016 වසරේ සිට රජයට ගෙවීමට ඇති බව කියන රුපියල් මිලියන 1,040ක හිඟ එකතු කළ අගය මත බදු (VAT) මුදල කඩිනමින් පියවීමට පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාවේ නීතිඥවරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහආරච්චි හමුවේ දැනුම් දී තිබේ.

රුපියල් මිලියන 1,040ක බදු හිඟය අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කොළඹ මහ නගර සභාවට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.

2016 සිට 2020 දක්වා කාලය තුළ යෙදවුම් සහ නිමැවුම් බදු ගෙවීම් පැහැර හැර ඇති බව පෙන්වා දුන් නගර සභාවේ නීතිඥවරු, එම හිඟ මුදල් පියවීමට මහ නගර සභා පරිපාලනය තීරණය කර ඇති බවත්, පැමිණිලිකාර පාර්ශ්වය සමඟ සමථයකට එළඹීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළහ. පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා, නොගෙවූ බදු මුදල් අයකර ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩුවේදී කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එහි ගණකාධිකාරී සුගත් ධර්මසූරිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඔහු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ධර්මසූරියට ස්ථාන මාරුවීමක් ලබා දීමට හෝ ඔහු විදේශගත වීමට පෙර අධිකරණයේ අනුමැතිය ලබා ගත යුතු බවට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

බදු හිඟය පියවීමේ කටයුතු කඩිනම් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඊට අදාළ සමථ විස්තර මාර්තු 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයටම උපදෙස් දුන්නේය.