June 9, 2026

බැංකු ණයක් ලබාගැනීමේ අරමුණින් පමණක් පුතාගේ නමට පැවරූ නේවාසික දේපළක අයිතිය වෙනුවෙන් වසර 30ක් තිස්සේ සටන් වැදුණු මවකට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබේ.

ඒ, එම දේපළෙහි සැබෑ අයිතිය මව සතු බවත්, පුතා විසින් එය භාරයක් වශයෙන් පමණක් රඳවා තබාගෙන සිටින බවත් ප්‍රකාශ කරමිනි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ඒකමතිකව ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව, මවට පක්ෂව ගල්කිස්ස දිසා අධිකරණය සහ මලින්ද සිවිල් අභියාචනා මහාධිකරණය ලබා දී තිබූ තීන්දු අභියෝගයට ලක්කරමින් පුත්‍රයා ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම ආරවුලට මුල් වී ඇත්තේ මිහිරාන ප්‍රදේශයේ පිහිටි දේපළකි. මව විසින් 1987 ඔක්තෝබර් මාසයේදී තම පුත් තිලකසිරි වෙත මෙම දේපළ ඔප්පුවකින් පවරා තිබුණි. එය සෘජු පැවරීමක් ලෙස බාහිරට පෙනුණ ද, නිවසේ ඉතිරි වැඩකටයුතු අවසන් කරගැනීම සඳහා බැංකු ණයක් ලබාගැනීමේ අරමුණින් පමණක් සිදුකළ තාවකාලික පැවරීමක් බව මව අධිකරණයේදී කියාසිටියාය. ණය මුදල පියවීමෙන් පසු දේපළ යළි තමන්ට ලැබෙනු ඇතැයි ඇය අපේක්ෂා කර ඇත.

කෙසේවෙතත්, පුත්‍රයා තර්ක කළේ තමන් රුපියල් 125,000ක මුදලකට මෙම දේපළ සැබවින්ම මිලදී ගත් බවයි.

නඩු විභාගයේදී අනාවරණය වූයේ, අදාළ නිවස මව විසින් ඉතා දුෂ්කරතාවලින් මිලදී ගෙන ඉදිකරන ලද්දක් බවත්, එය ඇයගේ එකම පදිංචි ස්ථානය වූ බවත්ය.

භාර ආඥාපනතේ 83 වැනි වගන්තිය ප්‍රකාරව, මෙවැනි පැවරීමකදී දේපළෙහි සැබෑ අයිතිය පැවරීමේ චේතනාවක් මවට නොතිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය.

ඒ අනුව, 1997 දී මව විසින් ආරම්භ කළ මෙම නීතිමය සටන ඇයට ජයග්‍රහණය අත්කර දෙමින් අවසන් විය.