
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට 2001 දී තෑගි කළ ඇතුන් තිදෙනාගෙන් එක් සත්වයකු වන ‘සක් සූරීන්’ නැවත සිය රටට ගෙන්වා ගැනීම සඳහා ඇති හැකියාවන් පිළිබඳව තායි රජය සොයාබලමින් සිටින බව වාර්තා වේ. මෙම සත්වයා ඇත්ගොව්වන්ගේ අතවරයට ලක් වූ බවට සත්ත්ව හිමිකම් සංවිධානයක් විසින් පසුගිය වසරේ වාර්තා කිරීමෙන් අනතුරුව තායි රජය මෙලෙස, ඒ පිළිබඳව අවධානය යොමුකර ඇතැයි එරට The Thaiger පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව සක් සූරීන්ගේ තත්ත්වය පිළිබඳව තායි රජය දැනුවත්ව සිටින අතර, අලියාගේ විශාලත්වය සහ තුවාලවල ස්වභාවය හේතුවෙන් නැවත තායිලන්තයට ප්‍රවාහනය කිරීම ගැටලු සහගත බව පෙනීගොස් ඇත. තායිලන්ත පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති වරවුට් සිප්ලා-අර්චා සඳහන් කර ඇත්තේ, සක් සූරීන් සිය රට ගෙන ඒම සඳහා C-130 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් භාවිත කිරීමට මීට සැලසුම් කර තිබූ බවයි. කෙසේ වෙතත්, මෙම අදහස අත්හැර දමා ඇත්තේ, ආයුධ සහ යුද ටැංකි වැනි යුධ උපකරණ ප්‍රවාහනය කිරීම සඳහා නිර්මාණය කරන ලද අදාළ වර්ගයේ ගුවන් යානා ඇතාගේ ප්‍රවාහනයට නුසුදුසු බව අනාවරණය වීමෙන් අනතුරුවය.
තායි රජය සලකා බලා ඇති තවත් විකල්පයක් වන්නේ, සක් සූරීන් නැවකින් ප්‍රවාහනය කිරීමයි. එහෙත් අවාසනාවන්ත ලෙස, තුවාල ලබා සිටින මෙම ඇතාට සති කිහිපයක මුහුදු ගමනක් නුසුදුසු බව තහවුරු වී ඇත. එමනිසා සක් සූරීන් නැවත එරටට ගෙන්වා ගැනීම සඳහා සුදුසු විසඳුමක් සෙවීම වෙනුවෙන් දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart