September 10, 2026

එච්.අයි.වී (HIV) සහ අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වැළැක්වීම සඳහා කොන්ඩම් නිවැරදිව හා අඛණ්ඩව භාවිත කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ප්‍රමිතියෙන් තොර බාල කොන්ඩම් භාවිතයෙන් වළකින ලෙසටද අනතුරු අඟවයි.

එච්.අයි.වී පරීක්ෂණ පුළුල් කිරීම සහ වැළැක්වීමේ සේවාවන් සඳහා ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය (NSACP) ක්‍රියාත්මක කරන වැඩසටහන් අතරතුර මෙම දැනුම්දීම සිදුකර ඇත.

එම උත්සාහයන්ගේ කොටසක් ලෙස, HIV ස්වයං පරීක්ෂණ, උසස් තත්ත්වයේ කොන්ඩම් සහ ලුබ්‍රිකන්ට් (Lubricants) ඉතා රහස්‍ය ලෙස ලබාගැනීම ඇතුළු එච්.අයි.වී වැළැක්වීමේ සහ පරීක්ෂා කිරීමේ සේවාවන් වෙත යොමු වීම සඳහා ‘KNOW4SURE.LK’ සබැඳි (online) පද්ධතිය භාවිතා කිරීමට NSACP මගින් මහජනතාව දිරිමත් කරයි.

සායන වෙත යෑමට මැලිවන පුද්ගලයන්ට විශේෂයෙන්ම මෙම ඩිජිටල් පද්ධතිය හරහා ඉතා පහසුවෙන් සහ රහස්‍යභාවය සුරකිමින් එච්.අයි.වී ආශ්‍රිත සේවාවන් ලබාගත හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ ‘ඩේලි මිරර්’ පුවත්පතට පවසා තිබේ.

මෙම වෙබ් අඩවිය ඔස්සේ පරිශීලකයන්ට තමන්ට ඇති HIV හෝ ලිංගික රෝග අවදානම ස්වයංව මැන බැලීමට, HIV ස්වයං පරීක්ෂණ සේවාවන්ට යොමුවීමට, ආසන්නතම පරීක්ෂණ මධ්‍යස්ථාන හඳුනාගැනීමට සහ HIV පරීක්ෂණ සඳහා වේලාවන් වෙන්කර ගැනීමට හැකියාව පවතී.

“මිනිසුන්ට තමන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරගනිමින් තමන්ට ඇති HIV අවදානම දැනගැනීමටත් පරීක්ෂණ සේවාවන් වෙත යොමුවීමටත් මෙම පද්ධතිය භාවිතා කළ හැකියි. HIV පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ ආසාදනයන් මුල් අවදියේදීම හඳුනාගැනීමට හැකි වන පරිදි වැඩි පිරිසක් මෙම සේවාව භාවිතා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යැයි වෛද්‍ය ධර්මකුලසිංහ පවසා ඇත.

එමෙන්ම කොන්ඩම්, ලුබ්‍රිකන්ට් සහ HIV පරීක්ෂණ කට්ටල (Test kits) ඇණවුම් කිරීමටද මෙම පද්ධතිය හරහා හැකියාව ලැබෙන බැවින්, අත්‍යවශ්‍ය HIV වැළැක්වීමේ සහ පරීක්ෂා කිරීමේ නිෂ්පාදන ඉතා සුරක්ෂිතව ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

ලිංගික එක්වීම්වලදී HIV සහ අනෙකුත් ලිංගික රෝගවලින් නිසි ආරක්ෂාව ලබාගැනීම සඳහා කොන්ඩම් නිවැරදිව හා අඛණ්ඩව භාවිත කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති. එමෙන්ම විශ්වාසදායක මූලාශ්‍රවලින් පමණක් කොන්ඩම් ලබාගැනීමේ වැදගත්කම සහ ඒවායේ කාර්යක්ෂමතාවයට බාධා විය හැකි බාල නිෂ්පාදනවලින් වළකින ලෙසද ඔවුහු පෙන්වාදෙති.

රජයේ සායනවලින් හෝ තෝරාගත් පෞද්ගලික වෛද්‍යවරුන් මගින් පරීක්ෂණ සේවාවන් වෙන්කර ගැනීමට ජනතාවට හැකියාව ඇත. රජයේ සායනවලදී HIV පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකරනු ලබන අතර, පෞද්ගලික ආයතනවලදී ඒ සඳහා සුළු මුදලක් අයකළ හැක.

වර්තමානයේ අධි-අවදානම් සහ අවදානමට ලක්විය හැකි බොහෝ පිරිස් සමාජ මාධ්‍ය සහ ඩේටිං ඇප්ස් (Dating apps) හරහා සහකරුවන් හඳුනාගත්තද, ඔවුන් සම්ප්‍රදායික HIV වැළැක්වීමේ, පරීක්ෂා කිරීමේ හෝ ප්‍රතිකාර සේවාවන් සමඟ සම්බන්ධ නොවීමේ ප්‍රවණතාවක් පවතින බැවින් මෙම සබැඳි පද්ධතිය ඉතා වැදගත් වන බව වෛද්‍ය ධර්මකුලසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත.