May 25, 2024

පසුගියදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකුලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකෙරිණි.

මාධ්‍ය නීති සංසදය (Media Law Forum) මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, මෙම පනත් කෙටුම්පතේ ව්‍යුහය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම සීමාකිරීමේ උත්සාහයක් පවතින බව පෙන්වාදෙමිනි.

මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටී.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විෂය පථයට පිටින් වැටෙන බව පවසමින් පෙත්සම්කාර පාර්ශ්වය, එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරයි.

මහජන කැළඹීමක් ඇති කිරීමේ හෝ මහජන සන්සුන් භාවයට බාධාකිරීමේ චේතනාවෙන් දුරකථන ඇමතුමක් ලබාදීම හෝ දුරකථනයක් භාවිතයෙන් පණිවිඩයක් යැවීම හෝ සම්ප්‍රේෂණය කිරීම හිතාමතා ක්‍රියාවට නැංවීම අපරාධයක් බවට පත්කිරීම ඇතුළුව පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන රැසක් මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාකිරීමේ උත්සාහයන් මෙහි ඇතුලත් බව මාධ්‍ය නීති සසදය සිය පෙත්සමින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

පෙත්සම්කරු විදුලි සංදේශ රෙගුලාසිවල 3B වගන්තිය සම්බන්ධයෙන්ද සැළකිව යුතු කනස්සල්ලක් මතුකරයි.

අදාළ පුද්ගලයාට ලිඛිත දැනුම්දීමක් ලබාදීමෙන් පසු ඕනෑම රේඩියෝ සංඛ්‍යාතයක් අවලංගු කිරීමට, වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට මෙම ප්‍රතිපාදනය කොමිෂන් සභාවට බලය ලබාදෙයි.