June 26, 2026

සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ නිශ්චිත කොන්දේසිවලට යටත්ව, පුද්ගලයන්ට තමන්ගේ පෞද්ගලික නේවාසික දේපළ සහ පෞද්ගලික වාහන බදු ගෙවීමකින් තොරව විකිණීමට හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊයේ පැහැදිලි කළේය.

ඒ අනුව, නේවාසික දේපළ හිමියෙකු සිය නිවස විකිණීමේදී සම්පූර්ණ බදු නිදහසක් ලබාගැනීමට නම් පහත කොන්දේසි සපුරාලිය යුතුය:

* විපරම් කරනු ලබන දේපළ විකිණීමට පෙර අවම වශයෙන් වසර තුනක කාලයක්වත් එහි නීත්‍යානුකූල අයිතිය ඔවුන් සතුව තිබිය යුතුය.
* එම වසර තුනක කාලය ඇතුළත වසර දෙකකට වැඩි කාලයක් ඔවුන් එම නිවසේ පදිංචිව සිට තිබිය යුතුය.

මෙම කොන්දේසි දෙකම සපුරා ඇත්නම්, නිවස විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලම බදුවලින් නිදහස් වන බව දෙපාර්තමේන්තුව පවසයි.

එසේම, පවුලේ සාමාජිකයන්ට හෝ දරුවන්ට දේපළ පැවරීමේදී ද බදු අයනොකෙරෙන අතර, බදු ගෙවීමේ අවශ්‍යතාවක් මතු වන්නේ දේපළ තවැනි පාර්ශවයකට විකුණනු ලබන අවස්ථාවලදී පමණි.

වාහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියාසිටියේ, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ මීට පෙර පැවති බදු රාමුව ඉවත් කර ඇති බවයි.

ඒ අනුව, පෞද්ගලික වාහන විකිණීමෙන් ලැබෙන ලාභය 2024 අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අතීතයට ද බලපාන පරිදි බදුවලින් නිදහස් කර ඇත.

මෙම බදු නිදහස අදාළ වාහනයේ පැරණි බව, තත්ත්වය හෝ මාදිලිය (Model) කුමක් වුවත් වලංගු වන අතර, එකම කොන්දේසිය වන්නේ එය ව්‍යාපාරික වත්කමක් හෝ වෙළඳ තොගයක් නොවන, පෞද්ගලික භාවිතය සඳහා වූ වාහනයක් වීම පමණි.

එහි ප්‍රතිඵලයක් ලෙස, පෞද්ගලික වාහනයක් විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ ලාභයම බදුවලින් නිදහස් වෙයි.