September 28, 2026

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු වන අනෝජන් සිවරාසාට රාජකීය සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සෞදි අරාබි රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් එකී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ, අනෝජන් යනු “අවාසනාවන්ත තත්ත්වයකට ගොදුරු වූවෙකු” වන බැවින් ඔහුගේ ජීවිතය බේරාදෙන ලෙසයි.

අනෝජන් විසින් කරන ලද ඇපෑලක් සලකා බැලීමෙන් අනතුරුව, ඉහළ අධිකරණයක් මගින් ඔහුගේ මුල් දඬුවම ඉහළ නංවමින් මරණ දඬුවම නියම කර ඇති බව ජාතික සහ සමාජ මාධ්‍ය වාර්තා ඔස්සේ තමන් දැනගත් බව අදාළ ලිපියේ සඳහන් වේ.

මන්ත්‍රීවරුන්ට අනුව, පහළ අධිකරණයක් මගින් ඔහුට මුලින් නියම කර තිබුණේ ආගමකට අපහාස වන අයුරින් කටයුතු කළේ යැයි කියන වරදකට වසර පහක සිරදඬුවමක් සහ දඩයකි.

සෞදි අරාබියේ ඉහළම අධිකරණය හමුවේ අවසන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තවමත් නීතිමය ඉඩකඩ පවතින බව තමන් වටහාගෙන ඇති බවද මන්ත්‍රීවරු පැවසූහ.

එසේම, අදාළ වරදෙහි ස්වභාවය, මෙතෙක් ගෙන ඇති නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික පියවරයන් සහ අනෝජන්ගේ වත්මන් තත්ත්වය ඇතුළු තහවුරු කළ තොරතුරු පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරන ලෙස ඔවුහු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.

සෞදි අරාබිය තුළ අවසන් අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා විශාල නීතිමය පිරිවැයක් දැරීමට සිදුවන බවත්, අඩු ආදායම්ලාභී සහ අසරණ පසුබිමකින් පැමිණෙන අනෝජන්ගේ පවුලට එම මුදල දැරීමට නොහැකි බවත් මන්ත්‍රීවරු පෙන්වාදෙති.

තවද, ෆේස්බුක් හි පළකළ සටහනක් සම්බන්ධයෙන් ඔහු වහාම සමාව අයැදිමින් එය ඉවත්කර ගැනීමට කටයුතු කළ ආකාරය සලකා බලන ලෙසද ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

අනෝජන්ගේ අහිංසකභාවය මෙන්ම ඔහුගේ “සාමය අගය කරන චරිතය සහ හැසිරීම” පිළිබඳව තමන් සාමූහිකව වගකියන බවත්, ඉස්ලාම් දහමට අපහාස කිරීමේ හෝ අගෞරව කිරීමේ කිසිදු චේතනාවක් ඔහුට නොතිබූ බවත් එම ලිපියෙහි සඳහන් වේ.

“එබැවින්, ඉස්ලාම් දහමේ සැබෑ මානුෂීය ගුණාංග පෙරදැරි කරගෙන, අවාසනාවන්ත ලෙස මෙයට මැදිවූ මෙම පුද්ගලයා ඕනෑම ආකාරයක දඬුවමකින් නිදහස් කර ඔහුගේ අහිංසක ජීවිතය බේරාගැනීමට මැදිහත් වන ලෙස අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු” යැයි මන්ත්‍රීවරු එහි සඳහන් කරති.

මුහම්මද් නබිනායකතුමන්ගේ ඉගැන්වීම් සහ සහනශීලී ප්‍රතිපත්තිවලට අනුකූලව අනෝජන් හට රාජකීය සමාව ලබාදෙන ලෙස සෞදි රජයෙන් ඉල්ලා සිටින බවද එහි දක්වා ඇත.

ජීවන් තොණ්ඩමන්, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, වී. රාධක්‍රිෂ්ණන් සහ සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම මෙම ලිපියට අත්සන් තබා තිබේ.