June 24, 2026

නිතර හඬන බව පවසමින් නවමස් හැවිරිදි බිළිඳියකගේ දෑත්, දෙපා සහ උදරය පුටුවක තබා තදින් ගැටගසා, කුඩ මිටකින් සහ දෑතින් පහර දී අමානුෂික ලෙස වධහිංසා පැමිණවූ බව කියන සැකකරුවකු ලබන ජූලි මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා ඊයේ (23) නියෝග කළේය.

පිටකොටුව, බැස්ටියන් මාවතේ පදිංචිකරුවකු වන මෙම සැකකරු පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පවසා සිටියේ, ඔහු විසින් මෙම බිළිඳියගේ දෑත්, දෙපා සහ බඩ ප්‍රදේශය පුටුවකට තබා තදකර බැඳ, කුඩයක යකඩ කූරකින් සහ දෑතින් අමානුෂික ලෙස පහර දී ඇති බවයි.

පිටස්තර අයකු මෙම අමානුෂික පහරදීම ඇසින් දැක, ඒ පිළිබඳ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිස් විමර්ශනවලට අනුව සැකකරු පිටකොටුව පැරණි බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ අංක 21 දරන කාමරයේ පදිංචිව සිට ඇත.

වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මෙම දරුවාගේ මව, සිය සැමියා සහ බිළිඳිය සමඟ රැකියා සොයා දින කිහිපයකට පෙර කොළඹට පැමිණ තිබේ.

පසුව දරුවාගේ පියා රැකියාවක් සෙවීම සඳහා මව සහ දරුවා මෙම සැකකරුගේ භාරයේ තබා ගොස් ඇති අතර, ඔහු දින කිහිපයක් යනතුරුත් යළි පැමිණ නැත.

සැකකරු මීට පෙර අවස්ථාවකදී ද මෙම බිළිඳියට පහර දී ඇති බවට මව ප්‍රකාශ කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

පසුගිය ජුනි 21 වැනිදා උදෑසන 7.30 ට පමණ සැකකරු දරුවාට පහරදෙන අයුරු දුටු ඇසින් දුටු සාක්ෂිකරුවකු වහාම ක්‍රියාත්මක වී ඒ පිළිබඳ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දී ඇත.

පහරකෑමට ලක්වූ බිළිඳිය මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරු සිදුකර ඇති වැරදිවල බරපතලකම සහ මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බැවින් සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඔහුව ජූලි 3 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.