July 2, 2026

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටළීමකදී හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමඟ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශකයන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (01) මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ ෆර්ගියුසන් පාරේදී මෙම වැටළීම සිදුකර ඇත.

එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 5.140ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් 50,000ක මුදලක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකථන දෙකක් නිලධාරීන් විසින් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, මට්ටක්කුලිය පොලිසිය මඟින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.