March 13, 2026

තම වෘත්තීය රාජකාරිවලට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය අපොහොසත් වීම අභියෝගයට ලක් කරමින් නීතිඥ අචලා සෙනෙවිරත්න විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වගඋත්තරකාර පාර්ශ්වයන්ගේ හැසිරීම 12(1) වගන්තිය යටතේ අසමාන ලෙස සැළකීමක් හෝ 14(1)(g) වගන්තිය යටතේ පෙත්සම්කරුට තම නීත්‍යනුකූල වෘත්තියේ යෙදීමට ඇති නිදහස අසාධාරණ ලෙස සීමා කිරීමක් බව සොයා ගැනීමට නොහැකි වූ බව අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ලබාදෙන ලදී.

පෙත්සම්කාරිය විසින් තමාට ආරක්ෂාව සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මතු කරන ලද ගැටළු ගැන සඳහන් කරමින්, විනිසුරු විජේසුන්දර සඳහන් කළේ, පෙත්සම්කාරිය විසින් මතු කරන ලද ගැටළු, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අපරාධවල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය ඇතුළු අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් නිසි ලෙස විසඳා ඇති බවත් සළකා බලා ඇති බවත් අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කරන ලද කරුණුවලින් පෙන්නුම් කරන බවයි.

සාක්ෂිකරුවන්ට, විනිසුරුවරුන්ට සහ නිලධාරීන්ට අපහාස කිරීමෙන් සහ වින්දිතයන්ට බලපෑම් කිරීමෙන් යුක්තියට බාධා කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියකු සහ තවත් විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහි නඩුවේ අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි බව පෙත්සම්කාරිය තම පෙත්සමේදී පැවසුවාය.

2017 සැප්තැම්බර් 15 වැනිදා තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, මේ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළ බවත් පෙත්සම්කාරිය සඳහන් කර තිබිණි.

2019 අප්‍රේල් 30 වැනිදා තමා සම්බන්ධයෙන් තිබූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පැමිණිල්ලක් කළ බව පෙත්සම්කාරිය තවදුරටත් පවසයි.

ඇය පවසන්නේ පෞද්ගලිකව සහ විවිධ ආයතන හරහා පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර තිබියදීත්, මෙම තර්ජන, හිරිහැර සහ බිය ගැන්වීම් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවයි.

කෙසේවෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(g) වගන්ති යටතේ සිය මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බව තහවුරු කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ආර්. එච්. සේනක පෙරේරාගේ උපදෙස් මත ප්‍රභාත් එස්. අමරසිංහ සමඟ නීතිඥ ශ්‍යාමල් ඒ. කොල්ලුරේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.