July 21, 2023

හින්දු ආගමික දරුවකු යැයි උපකල්පනය කරමින් දරුවකු පළමුවන ශ්‍රේණියට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීම මගින් කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ එම විදුහලේ අභියාචනා මණ්ඩලය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ දරුවා සති දෙකක් තුළ සුදුසු ශ්‍රේණියක් සඳහා ඇතුළත් කරගැනීමට පියවර ගන්නා ලෙස නියෝග කර තිබේ.

කොළඹ හැව්ලොක් පාරේ පදිංචිව සිටින පවිත්‍රා තරංගනී ඉලේපෙරුම නමැත්තිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිගනිමින් ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තම දරුවා 2022 වසරේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා කොළඹ විශාඛා විද්‍යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කළ බවයි. ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමකින් තොරව සිය අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ බවත් තම දරුවා හින්දු භක්තිකයෙකු යැයි උපකල්පනය කරමින් එම ‘කෝටාව'(Quota) අවසන් වී ඇතැයි සඳහන් කරමින් සිය අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකරුවන් ක්‍රියාකර ඇති බවත් පෙත්සම්කාරිය චෝදනා කළාය. මෙම තීරණයට එරෙහිව තමන් පාසලේ අයැදුම්පත් අභියාචන මණ්ඩලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළත් එම මණ්ඩලයද සාධාරණ පරීක්ෂණයක් සිදු නොකළ බව පෙත්සම්කාරිය චෝදනා කරයි.

පෙත්සම්කාරිය පවසන්නේ තමා බෞද්ධ ආගමිකයකු වන අතර තම සැමියා හින්දු භක්තිකයකු බවයි. එහෙත් තමන් මෙන්ම තම දරුවාද බෞද්ධාගමික යැයි පවසන පෙත්සම්කාරිය හින්දු ආගමික පදනමින් සිය අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවත් ඇය පෙන්වා දෙයි.

ඊට අමතරව දරුවන් පළමුවන ශ්‍රේණියට ඇතුළත් කරගැනීම සඳහා වූ සුදුසුකම් ඇතුළත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයේ අන්තර්ගතය සියලු සුදුසුකම් තමන් විසින් සපුරා තිබෙන බවත් ඇය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ අදාළ විද්‍යාලයට පළමුවන ශ්‍රේණිය සඳහා දරුවන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු සංඛ්‍යාව ලකුණු 53ක් වශයෙන් වගඋත්තරකාර විදුහල්පතිනිය විසින් පිළිගෙන තිබෙන බවයි. එහෙත් පෙත්සම්කාරියට ලකුණු 59ක් හිමි වී තිබියදී ඇයගේ දරුවා පාසලට ඇතුළත් කර නොගැනීමෙන් පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව අදාළ දරුවා සති 02ක් තුළ වහාම දෙවන ශ්‍රේණියට හෝ සුදුසු ශ්‍රේණියකට ඇතුළත් කරගන්නා ලෙස විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුවේ පිටපතක් විදුහල්පතිනිය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.

(අරුණ පුවත්පත)