September 26, 2026

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත යටතේ පාර්ලිමේන්තුවෙන් ලබාගත් තොරතුරුවලට අනුව, වත්මන් කතානායක ජගත් වික්‍රමරත්න වෙත ලබාදී ඇති දීමනා සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ සාමාන්‍ය මාසික වියදම, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ මාසික සාමාන්‍යයට වඩා 75.98% කින් ඉහළ ගොස් තිබේ.

මහින්ද යාපා අබේවර්ධනගේ මාසික සාමාන්‍යය රුපියල් 382,068.97 ක් ලෙස සටහන් වන විට, ජගත් වික්‍රමරත්න සඳහා එම මාසික සාමාන්‍යය රුපියල් 502,800.75 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම සැසඳීම සිදුකර ඇත්තේ දෙදෙනා සේවය කළ කාල සීමාවන් වෙනස් බැවින් මාසික සාමාන්‍ය වියදම් පදනම් කරගනිමිනි. මහින්ද යාපා අබේවර්ධනගේ දත්ත 2020 අගෝස්තු 20 සිට 2024 සැප්තැම්බර් 24 දක්වා මාස 49 ක කාලයකට අදාළ වන අතර, ජගත් වික්‍රමරත්නගේ දත්ත 2024 දෙසැම්බර් 17 සිට 2026 අප්‍රේල් 30 දක්වා මාස 16.5 ක කාලයකට අදාළ වේ.

කතානායකවරුන් සඳහා ලබාදෙන මෙම දීමනාවලට මාසික දීමනාව, අමතර රැස්වීම් දීමනා, ප්‍රවාහන දීමනා, ඉන්ධන දීමනා, සංග්‍රහ දීමනා, කාරක සභා දීමනා, දුරකථන සහ කාර්යාල දීමනා ඇතුළත් වේ.

කතානායකවරයා ලෙස කටයුතු කළ මාස 49 තුළ මහින්ද යාපා අබේවර්ධන එවැනි ගෙවීම් ලෙස රුපියල් 18,721,379.82 ක් (රුපියල් මිලියන 18.72 ක්) ලබාගෙන ඇති අතර, එහි මාසික සාමාන්‍යය රුපියල් 382,068.97 කි. ඒ අනුව 2020 දී රුපියල් මිලියන 1.32 ක්ද, 2021 දී රුපියල් මිලියන 3.63 ක්ද, 2022 දී රුපියල් මිලියන 4.67 ක්ද, 2023 දී රුපියල් මිලියන 5.37 ක්ද සහ 2024 දී රුපියල් මිලියන 3.72 ක්ද ලෙස එම වියදම් වාර්තා වී තිබේ.

ජගත් වික්‍රමරත්න අප්‍රේල් 30 වනදා දක්වා කාලය තුළ එම දීමනා වර්ග යටතේ රුපියල් 8,296,209.49 ක් (රුපියල් මිලියන 8.30 ක්) ලබාගෙන ඇත. මෙයට 2024 දෙසැම්බර් 17 සිට 31 දක්වා කාලයට රුපියල් 192,418.73 ක්, 2025 වසර සඳහා රුපියල් මිලියන 6.04 ක් සහ 2026 ජනවාරි 1 සිට අප්‍රේල් 30 දක්වා රුපියල් මිලියන 2.06 ක් ඇතුළත් වේ. මාස 16.5 ක කාලසීමාව තුළ ලැබුණු මෙම මුදලට අනුව ඔහුගේ මාසික සාමාන්‍යය රුපියල් 502,800.75 ක් ලෙස ගණනය වේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විශේෂ විගණනයකින් පසු පාර්ලිමේන්තුවේ මූල්‍ය පරිපාලනය සහ වියදම් පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් පවතින පසුබිමක මෙම RTI තොරතුරු හෙළිවීම විශේෂත්වයකි.

පසුගිය අගෝස්තු 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අදාළ විගණන වාර්තාව මගින් 2015 සැප්තැම්බර් සිට 2024 නොවැම්බර් දක්වා පැවති අටවැනි සහ නවවැනි පාර්ලිමේන්තුවල මූල්‍ය පාලනයේ පැවති දුර්වලතා සහ ඇතැම් වරප්‍රසාද ලබාදීමේදී සිදු වූ අඩුපාඩු පෙන්වා දී තිබිණි. රාජ්‍ය සේවයේ සමාන තලයේ නිලධාරීන්ට ඉන්ධන සීමාවන් පනවා තිබියදී, එවකට සිටි කතානායක, නියෝජ්‍ය කතානායක, කාරක සභා නියෝජ්‍ය සභාපති සහ මහලේකම්වරයා සඳහා සීමාවකින් තොරව ඉන්ධන ලබාදී ඇති බව එහිදී අනාවරණය විය. නවවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා 2023 දී මසකට ඉන්ධන ලීටර් 3,994 ක සාමාන්‍යයක් භාවිත කර ඇති අතර, 2024 දී එය මසකට ලීටර් 6,122 දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ සඳහා වූ වියදම 2023 දී රුපියල් මිලියන 19.37 ක් සහ 2024 දී රුපියල් මිලියන 26.05 ක් විය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ජගත් වික්‍රමරත්නට එරෙහිව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. කතානායක වික්‍රමරත්නගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය, මාධ්‍ය ඒකකය, උපකරණ, වේතන හා දීමනා මෙන්ම නිල වාහන සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු, කතානායකවරයා හෝ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කළ ලිඛිත උපදෙස් මත ලබාදීම වළක්වා ඇති බවට එහිදී චෝදනා කර තිබේ. එම තොරතුරු වළක්වාලීම සඳහා 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතේ ප්‍රතිපාදන වැරදි ලෙස යොදාගෙන ඇති බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාද අදාළ වන්නේ පරිපාලනමය කරුණුවලට නොව ව්‍යවස්ථාදායක කටයුතුවලට පමණක් බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

(උපුටාගැනීම – The Morning පුවත්පත)