August 13, 2026

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන චියාන් වික්‍රම් දුර්ලභ ගණයේ සතකු සමඟ විනෝදයෙන් ගත කළ මොහොතක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ විශාල අර්බුදයකට මුහුණ දී සිටියි.

වික්‍රම් විසින් ‘ලාරා ගිබන්’ වර්ගයේ රිළා පැටවකු සමඟ ගත් ආදරණීය වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කර තිබූ අතර, මුලදී රසිකයන් ඊට ප්‍රශංසා කළද, අදාළ සත්වයා නීතිවිරෝධී ලෙස ඇති දැඩි කරන්නෙකු බවට ජනමාධ්‍යවේදීන් සහ වනජීවී ක්‍රියාකාරීන් චෝදනා කිරීමත් සමඟ සිද්ධිය උණුසුම් විය.

‘ලාරා ගිබන්’ යනු අන්තර්ජාතික වනජීවී වෙළඳ සම්මුතිය සහ ඉන්දියාවේ වනජීවී ආරක්ෂණ පනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයකි.

වාර්තා වන ආකාරයට මෙම වීඩියෝව නිසා වික්‍රම්ගේ දියණියගේ මාමණ්ඩිය වන ප්‍රකට CavinKare සමාගමේ සභාපති සී.කේ. රංගනාදන් ද නීතිමය ගැටලුවකට මැදිව සිටී.

මනිපූර් ප්‍රදේශයෙන් මිලදී ගෙන තමිල්නාඩුවේ ඊරෝඩ් වෙත ගෙන එන ලද මෙම සත්වයා රංගනාදන්ගේ නිවසේ තබාගෙන ඇති බව පැවසෙන අතර, වික්‍රම් එම වීඩියෝව පැය 24ක් ඇතුළත ඉවත්කර ගැනීමට කටයුතු කර ඇත.

වීඩියෝව ඉවත් කළද චෙන්නායි වනජීවී නිලධාරීන් රංගනාදන්ගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති අතර, “ඉන්දියාවේ නීතිය සල්ලිකාරයන්ට අදාළ වෙන්නේ නැහැ”, “ෆිල්ම් නැති නිසා පොඩි ෆන් එකක් ගන්න ගිහින් නාගත්තා” යනුවෙන් බොහෝදෙනා අදහස් පළකර තිබිණි.

නීත්‍යානුකූල අවසරයකින් තොරව මෙවැනි දුර්ලභ සතුන් ළඟ තබාගැනීම ඉන්දියාවේ සිරදඬුවම් ලැබිය හැකි බරපතල වරදකි.