May 31, 2026

ලබන වසර වෙනුවෙන් සිදුකෙරෙන ගල්අඟුරු ආනයනය සඳහා රජය විසින් දැඩි රීති මාලාවක් පනවා ඇති බවත්, බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා නව ටෙන්ඩර් පත්‍රිකාවට නව පිරිවිතරයන් ඇතුළත් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය වෙනුවෙන් මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නැව් තොග 25ක් මිලදී ගැනීම සඳහා මෙම නව ටෙන්ඩරය කැඳවා ඇති බව ඇමැතිවරයා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

දැනට පවතින ක්‍රමවේදය අනුව ගල්අඟුරු සැපයුම්කරු විසින් ලබාදෙන වාර්තා මත විශ්වාසය තබනවා වෙනුවට, මින් ඉදිරියට ගල්අඟුරු පටවන වරායේදීම එහි තත්ත්වය, ගුණාත්මකභාවය සහ පැටවීමේ ක්‍රියාවලිය සනාථ කරන වාර්තාව (load-port report) සෘජුවම ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට කටයුතු කරනු ඇත.

එසේම, නව ටෙන්ඩර් කොන්දේසි යටතේ සුදුසුකම් ලැබීම සඳහා සැපයුම්කරුවන් වෙනත් රටවලට අවම වශයෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2ක් වත් සැපයූ ඉතිහාසයක් (track record) පෙන්විය යුතුය. වත්මන් නීතිය අනුව ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙට්‍රික් ටොන් මිලියන 1ක් පමණි.

මීට අමතරව, ඉදිරියේදී ආනයනය කරනු ලබන ගල්අඟුරු සඳහා වන දළ කැලරි වටිනාකම (Gross Calorific Value – GCV) 5900 සිට 6000 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනේ. දළ කැලරි වටිනාකම (GCV) ඉහළ අගයක පැවතීම යනු බර ඒකකයකින් නිපදවන බලශක්ති ප්‍රමාණය වැඩිවීමයි.

ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් පමණක් තෝරාගන්නවා වෙනුවට, විවෘත ටෙන්ඩර් පටිපාටියක් මඟින් සැපයුම්කරුවන් තෝරාගන්නා බැවින් තරඟකාරිත්වය වැඩි වන බවත්, එමඟින් රටට වඩාත්ම වාසිදායක විකල්පය තෝරාගත හැකි වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, හදිසි සැපයුම් ලෙස මිලදී ගත් නැව් තොග පහෙන් එකක අළු අන්තර්ගතය (ash content) අධික බව සොයාගෙන ඇත. එම තොගය සැපයූ ආයතනයට එරෙහිව රජය විසින් දඩ මුදලක් පැනවීමට නියමිතය.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැව් තොග 18ක් ආනයනය කිරීම හේතුවෙන් රජයට ඇමරිකානු ඩොලර් මිලියන 37ක පාඩුවක් සිදුවී ඇති බවත්, එම පාඩුව පියවා ගැනීම සඳහා අදාළ සැපයුම්කරුවන්ටද දඩ පනවන බවත් අමාත්‍ය කරුණාතිලක වැඩිදුරටත් පවසා ඇත.