November 14, 2026

අද (14) මොරටුව, එගොඩඋයන නව ගාලු පාරේදී ලොරි රථයකට යටවීමෙන් 68 හැවිරිදි ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව, ලක්ෂපතිය ද මෙල් පාරේ පදිංචිව සිටි ප්‍රකට ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයකු මෙන්ම ක්‍රීඩා භාණ්ඩ ව්‍යාපාරිකයකු වන ජෑන් බර්නාඩ් අයිවෝ රණසූරිය යි.

මොරටුව ක්‍රිකට් ෂොප් ආයතනයේ හිමිකරු ලෙස පැවසෙන රණසූරිය, උදෑසන පුහුණු සැසියක් අතරතුර තවත් පාපැදි ක්‍රීඩකයන් පිරිසක් සමඟ මොරටුව දෙස සිට පානදුර දෙසට පාපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

වාර්තා වන අන්දමට, පිටුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් ඔහුගේ ධාවන පාපැදියේ ගැටී ඇති අතර, ඒ සමඟම ඔහු ලොරි රථයට යට වී තිබේ.

අනතුර සිදුවූ ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරෙන් පසු ලොරි රථය තුළ සිරවී සිටි රියදුරු ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගෙන තිබේ.

බරපතළ තුවාල ලැබූ ඔහුද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එගොඩඋයන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.