November 14, 2026

2026 ඔක්තෝබර් 28 දින කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නිෂ්පාදන සමාගමට රු. 60,000ක් සහ එහි කළමනාකාර අධ්‍යක්ෂවරයාට රු. 60,000ක් වශයෙන් දඩ නියම වෙයි.

දේශීයව නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා අනිවාර්ය කර ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 591 ප්‍රමිති සහතික ලාංඡනය නොමැතිව සූරියකාන්ත තෙල් (Sunflower Oil) සහිත ටින් මාළු නිෂ්පාදනය කිරීම සහ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාල වෙත අලෙවි කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවකදී 2026 ඔක්තෝබර් 28 දින රුපියල් 120,000ක සමස්ත දඩ මුදලක් නියම කර තිබේ.

කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති මෙම නඩුවේ පළමු විත්තිකාර පාර්ශ්වය වන්නේ නාරංගොඩ, බම්මාන්න ප්‍රදේශයේ පිහිටි ABEY MARINE (Pvt) Ltd සමාගමයි. දෙවැනි විත්තිකරු වන්නේ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අබේවර්ධන ගුණසේකර විජිත් රසික ය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026 අගෝස්තු 07 දින සිදුකළ විශේෂ විමර්ශනයේදී අනිවාර්ය SLS 591 ප්‍රමිති සහතික ලාංඡනය නොමැති ග්‍රෑම් 185ක ටින් මාළු ඇසුරුම් 1,974ක් නිෂ්පාදනාගාරයේදී පරීක්ෂාවට ලක්කර තිබේ.

එම තොගයෙන් ටින් මාළු ඇසුරුම් 1,949ක් නිෂ්පාදනාගාරයේ රසායනික ද්‍රව්‍ය කාමරයේ (Chemical Room) රඳවා මුද්‍රා තබා තිබූ බව නඩු වාර්තාවේ සඳහන් වේ.

වැඩිදුර විමර්ශනවලදී SLS 591 ප්‍රමිති සහතික ලාංඡනය නොමැති ග්‍රෑම් 185ක ටින් මාළු නිෂ්පාදන ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාල වෙත අලෙවි කර බෙදාහැර තිබූ බවටද කරුණු අනාවරණය වී ඇත.

මෙම විමර්ශනවලදී අදාළ මිලදී ගැනීමේ ඇණවුම් (Purchase Orders), භාණ්ඩ ලැබීම් සටහන් (GRN), බදු ඉන්වොයිසි, නිෂ්පාදන ලේබල් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තහවුරු කිරීමේ ලිපිය ඇතුළු ලේඛනද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබේ.

අනිවාර්ය SLS 591 ප්‍රමිති සහතික ලාංඡනය නොමැති ටින් මාළු නිෂ්පාදනය කිරීම සහ එම නිෂ්පාදන සුපිරි වෙළෙඳසැල් ජාල වෙත අලෙවි කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විත්තිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

ඒ අනුව, 2026 ඔක්තෝබර් 28 දින කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ABEY MARINE (Pvt) Ltd සමාගමට රුපියල් 60,000ක දඩයක්ද, එහි කළමනාකාර අධ්‍යක්ෂවරයාට රුපියල් 60,000ක දඩයක්ද නියම කර ඇත.

නියම කළ සමස්ත දඩ මුදල රුපියල් 120,000කි.