
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු හමුදාවට බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් එරට හමුදා සේවයෙන් නිදහස් කිරීමට රුසියානු රජය මැලිකමක් දක්වන බව විදේශ කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීපය’ වාර්තා කර ඇත්තේ, එසේ ශ්‍රී ලාංකිකයන්ට හමුදා සේවයෙන් බැහැර වීමට අවසර ලබා දුනහොත් රුසියානු හමුදාවේ සේවය කරන අනෙක් විදේශිකයන්ද එලෙස හමුදා සේවයෙන් ඉවත්වීම සඳහා ඉල්ලුම් කිරිමට ඉඩ තිබීම හේතුවෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඒ සඳහා අවසර ලබාදීමට මැලිකමක් දක්වන බවයි.
රුසියානු හමුදාවට බැඳී ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම ඥාතීන් සියලු දෙනා එම ශ්‍රී ලාංකිකයන්ට වැටුප් ලබාදී නොමැති බවට දිවුරුම් ප්‍රකාශ ලබාදී තිබියදීත්, රුසියාවට යෑම සඳහා විරුද්ධතාවයක් නොමැති බවට ලිපි ලබාගැනීම සඳහා විශ්‍රාමික හමුදා සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලාංකිකයන් රුසියානු හමුදාවට සම්බන්ධ කිරීම සඳහා කටයුතු කළ මෙරට නියෝජිතයන් සියලුදෙනාම රුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් සමඟ එකතු වී මෙම මිනිස් ජාවාරම සිදුකර ඇතැයි ආරංචි මාර්ග පවසා තිබේ.
අතරමැදියන් ලෙස කටයුතු කළ මෙම පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් රවටා ඔවුන්ව රුසියානු හමුදාවට බඳවා ඇති බවත් රුසියානු හමුදාවේ සිවිල් රාජකාරි සඳහා ඔවුන් බඳවා ගන්නා බව පවසා රවටමින් රුසියානු හමුදාවට බැඳුණු බොහෝ ශ්‍රී ලාංකිකයන්ගෙන් අතරමැදියන් අදාළ ගිවිසුමට අත්සන් ගෙන ඇති බවත් වාර්තා සඳහන් කර ඇත.
ඔවුන් අත්සන් කළ ගිවිසුම රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ගිවිසුමක් බවත් එය තිබී ඇත්තේ රුසියානු භාෂාවෙන් බවත් පැවැසේ.
රුසියානු හමුදාවට බැඳුණු සියලුදෙනා සංචාරක වීසා මත රුසියාවට ගොස් ඇති බවත් රුසියාවට යෑම සඳහා සංචාරක වීසා ඉල්ලුම් කරන සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පිළිබඳව රුසියානු බලධාරීන්ගේ අවධානය යොමු නොවීම විමතියට කරුණක් බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් ස්වකැමැත්තෙන් රුසියානු හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බවත් ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් රවටා රුසියානු හමුදාවට සම්බන්ධ කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රඳවා සිටින අයවලුන්ට ඉදිරියේදී මිනිස් ජාවාරම් කිරිමේ චෝදනා ගොනුකිරීමට බලාපොරොත්තු වන බවත් ආරංචි මාර්ග පවසා තිබේ.
මේ වන විට රුසියානු හමුදාවට බැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 477 දෙනකු පිළිබඳ පැමිණිලි ලැබී තිබෙන බවත් මේ වන විට ආරක්ෂිතව ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු මෙරටට ගෙන්වා ගෙන ඇති බවත් වාර්තා වැඩිදුරටත් හෙළිකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart