August 4, 2026

​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වසරේ දින 365 පුරාම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස, මෙතෙක් සංචාරක කර්මාන්තය සඳහා ඌණ උපයෝගීතාවයක පැවති ආරුගම්බේ ‘එලිෆන්ට් රොක්’ (Elephant Rock) පරිශ්‍රය සංචාරක ආකර්ෂණයට ලබාගැනීම වෙනුවෙන් සංවිධානය කළ නිරීක්ෂණ චාරිකාවකට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් , සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, අම්පාර දිස්ත්‍රික් නායකත්වය සපයන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස හා රාජ්‍ය නිලධාරීහු කිහිපදෙනෙක් ද සහභාගී වී ඇත.

​ආරුගම්බේ ප්‍රදේශය වසරේ එක් කාලසීමාවකදී සර්ෆින් (Surfing) ක්‍රීඩාව සඳහා පමණක් යොමු වූ ස්ථානයක් බවට පත් නොකර, දින 365ම ආවරණය වන පරිදි සමස්ත නැගෙනහිර පළාත පුරා විසිරී පවතින නව සංචාරක ගමනාන්තයක් ලෙස නැගෙනහිර ප්‍රදේශය දියුණු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

​දේශීය කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සහ ග්‍රාමීය ආයෝජකයන් සමඟම විදේශීය විශාල පරිමාණයේ අන්තර්ජාතික මට්ටමේ හෝටල් සමාගම් ද සම්බන්ධ කරගනිමින් මෙම ප්‍රදේශය තවත් සංවර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට පවතින හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

​එමෙන්ම මෙතෙක් කාලයක් අවම යටිතල පහසුකම් නොමැතිව එම ප්‍රදේශයේ සිටින සංචාරක කර්මාන්තයට ලැදි ප්‍රදේශවාසීන් විසින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ කටයුතු සිදුකරගෙන යන බව නිරීක්ෂණය වූ අතර, ඊට අදාළ මාර්ග, විදුලිය, ජලය හා සනීපාරක්ෂක ඇතුළු මූලික යටිතල පහසුකම් සපයා දීම රජයේ වගකීමක් වන බැවින් ඒ සඳහා පියවර ගැනීමට ද තීරණය කර තිබේ.