November 9, 2026

2026/27 මුදල් වර්ෂයේ පළමු මාස තුන තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 35.6ක පාඩුවක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශයේ මධ්‍ය වාර්ෂික මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාව මගින් මේ බව අනාවරණය කර තිබේ.

පසුගිය වර්ෂයේ මුදල් අනුරූප කාලපරිච්ඡේදයේදී රුපියල් බිලියන 62.6ක් වූ ජාතික ගුවන් සේවයේ ආදායම, මෙම කාලසීමාව තුළ රුපියල් බිලියන 82.8 දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේවෙතත්, මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන පිරිවැය 93%කින් ඉහළයෑම ඇතුළු හේතූන් මත ගුවන් සමාගමේ සමස්ත වියදම 40.4%කින් ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 67.8 සිට රුපියල් බිලියන 95.2 දක්වා වර්ධනය වී තිබේ.

මෙම තත්ත්වය තුළ ගුවන් සමාගම අදාළ මාස තුනක කාලයේදී රුපියල් බිලියන 12.5ක මෙහෙයුම් පාඩුවක් ලබා ඇති අතර, විදේශ විනිමය ආශ්‍රිත පීඩනයන් ද එහි මූල්‍ය කාර්යසාධනයට දැඩි ලෙස බලපා ඇත.

තවද, ව්‍යුහාත්මක දුර්වලතා,අධික නඩත්තු පිරිවැය සහ විශාල ණය වගකීම් ජාතික ගුවන් සේවය මුහුණ දී සිටින ප්‍රධාන අභියෝග ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර, ගුවන් සමාගම වෙත රජයෙන් අඛණ්ඩව මූල්‍ය ආධාර සැපයීම සිදුවන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 175ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් අනතුරුව, ඩොලර් මිලියන 126.5ක බැංකු වගකීමක් ගිය මාර්තු 20 වැනිදා රජයේ ණය තොගයට පවරා ඇත.

මීට අමතරව, ගුවන් සමාගමේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 30ක් ලබා දී ඇති බව වාර්තා වේ.