July 19, 2025

හම්බන්තොට අන්තර්ජාතික වරාය දිය කඩනයේ පිහිටා ඇති කොරල්වැටිය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කොරල්පර ආරක්ෂතා ව්‍යාපෘතිය බවට පත්ව තිබේ.

හම්බන්තොට අන්තර්ජාතික වරාය මේ වනවිටත් සමෘද්ධිමත් සාගර පරිසර පද්ධතියක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගතව සිටී.

මෑතකදී ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය විසින් හම්බන්තොට වරාය හි දියකඩනය ආශ්‍රිතව සිදුකරන ලද කොරල්පර අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ එහි ඇති විසිතුරු කොරල්පර සියයට 35ක් පමණ සජිවී බවයි.

හම්බන්තොට අන්තර්ජාතික වරාය, ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රබෝධමත් කෘත්‍රිම සජිවී කොරල් පද්ධතිවලින් එකක් බව මෙයින් සනාථ වන බව එම වරාය ප්‍රධාන විධායක නිලධාරි විල්සන් ක්ව පවසයි.

සාගර විශ්ව විද්‍යාලයේ විද්‍යා සහ ධීවර පීඨයේ මහාචාර්යවරයකු වන විද්‍යාඥ එම්.එෆ්.එම්. ෆයිරෝස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම, වරායේ අධිආරක්ෂිත, කැළඹිලි අඩු කලාපය තුළ වර්ධනය වී ඇති අර්ධ කෘතිම කොරල්පර පද්ධතිය අධ්‍යයනය කළේය. දියකඩනයේ ස්ථායී උපස්ථරය මත සාර්ථකව කොරල්වැටි රඳා සිටීමට මෙම සුවිශේෂී වටපිටාව හේතු වී ඇත.

“එය ජීවමාන රසායනාගාරයක් වගේ ” යැයි ආචාර්ය ෆයිරෝස් පවසයි. ”ස්වභාවික වෙරළබඩ ප්‍රදේශවල දක්නට ඇති බොහෝ පීඩකයන්ගෙන් මෙම පද්ධතිය ආරක්ෂා වී තිබෙනවා පමණක් නොවෙයි, මසුන් ඇල්ලීමෙන් තොර, අපවිත්‍ර වීම අවම, වාතාවරණය නිසා සෞඛ්‍ය සම්පන්න වර්ග සමතුලිත භාවයකින් යුක්තයි. කොරල් ආවරණය 35% ක්ම සජිවී වීම පරිසර පද්ධතියේ ප්‍රත්‍යස්ථිතිය සහ සෞඛ්‍යයේ විශිෂ්ටත්වයට සාක්ෂියක් ” යැයි ද ඔහු කියයි.

ශ්‍රී ලංකාවේ අනෙකුත් වෙරළාශ්‍රිත කොරල්වැටි සමග සංසන්දනය කළ විට, අධික මසුන් ඇල්ලීම සහ දේශගුණික වෙනස් වීම් හේතුවෙන් ඒවායේ සජිවී කොරල් ආවරණය සියයට 20 දක්වා පහත වැටී ඇත.

ඊට සාපේක්ෂව හම්බන්තොට වරායෙහි ආරක්ෂිත කොරල් පද්ධතිය, කොරල් ප්‍රතිජනනය සහ ජෛව විවිධත්වය සඳහා කදිම උදාහරණයකි.

කොළඹ වරාය නගරයේ කොරල්පර ආරක්ෂණ ව්‍යාපෘතිය හැරුණු විට, හම්බන්තොට අන්තර්ජාතික වරාය දියකඩනයේ පිහිටා ඇති කොරල්වැටිය දැන් ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කොරල්පර ආරක්ෂණ ව්‍යාපෘතිය බවට පත්ව ඇත.

ඉතා අඩු කෘත්‍රිම මැදිහත්වීමකින්, ස්වභාවිකව සමෘද්ධිමත් කොරල් පද්ධතියක් ලෙස පරිණාමයවීම හම්බන්තොට කොරල් ව්‍යාපෘතියේ කැපීපෙනෙන ලක්ෂණයකි. රළු, මෘදු හා ස්පොන්ජ් වැනි කොරල්පර විශේෂ කිහිපයක් සහ කොරල් ආශ්‍රිත මත්ස්‍ය වර්ග 20කට වඩා වැඩි විවිධ සාගර ජීවීන් එහි ඇති බව පර්යේෂකයන් වාර්තා කර තිබේ.