October 14, 2026

යුද හමුදාධිපතිවරයාගේ මඟපෙන්වීම සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික භටපිරිස් විසින් භාවිතයට නුසුදුසු මට්ටමේ පැවති යුද හමුදා වාහන සමූහයක් සාර්ථකව ප්‍රතිසංස්කරණය කර යළි ධාවනය කළ හැකි තත්ත්වයට පත් කර තිබේ.

මෙම අලුත්වැඩියා කටයුතු හේතුවෙන්, නව වාහන මිලදී ගැනීම සඳහා රජයට දැරීමට සිදුවන දැවැන්ත මූල්‍ය පිරිවැයෙන් විශාල මුදලක් යුද හමුදාවට ඉතිරි කර ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයකි.

මේ අයුරින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද වාහන 53ක් නිල වශයෙන් අදාළ රෙජිමේන්තු නියෝජිතයන් වෙත භාරදීම යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාධිපති මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු ඇතුළු ප්‍රධාන මණ්ඩලික නිලධාරීන්, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වී තිබේ.