October 14, 2026

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ගොනු කළ පෙත්සමට මැදිහත්වීමට අවසර ඉල්ලා ඇති පෙත්සම් පිළිබඳ නියෝගය නිකුත් කිරීම ඔක්තෝබර් 22 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය පියවර ගත්තේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

මෙම මැදිහත්වීමේ පෙත්සම් පිළිබඳ නියෝගය අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ නමුත්, අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ අදාළ නියෝගය ඔක්තෝබර් 22 වැනිදා නිකුත් කරන බවයි.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු මහා සංඝරත්නය, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින් මෙම මැදිහත්වීමේ පෙත්සම් ගොනුකර තිබේ.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති නඩුවට මැදිහත්වී කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස පෙත්සම්කරුවන් මෙමගින් ඉල්ලා සිටියි.