May 19, 2026

ශ්‍රී ලංකාවේ වාර්ෂික මී පැණි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 50 සිට මෙට්‍රික් ටොන් 200 දක්වා වැඩි කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දියත් කර තිබේ.

ලෝක මී මැසි දිනය සැමරීම සඳහා ඊයේ (18) පේරාදෙණියේ සිට සහස් උයන දක්වා පැවති මී මැසි සැමරුම් පාගමනේදී අදහස් දක්වමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි පැවසුවේ නවීන තාක්ෂණික ක්‍රම භාවිත කිරීම තුළින් මී පැණි නිෂ්පාදනය වේගයෙන් ව්‍යාප්ත කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කරන බවයි.

ගෝලීය ආහාර පද්ධතිවලට මී මැස්සන් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඔහු ඉස්මතු කළ අතර, මිනිසාගේ පෝෂණය සඳහා අවශ්‍ය ආහාරවලින් සැළකිව යුතු කොටසක් පරාගණය මත රඳා පවතින බව සඳහන් කළේය.

“මිනිස් දෛනික ආහාර වේලෙන් තුනෙන් එකක් සෘජුව හෝ වක්‍රව මී මැස්සන් මත රඳා පවතිනවා. ගෝලීය කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් 35%ක් පමණ සිදුවන්නේ මී මැස්සන්ගේ සහාය ඇතිව පරාගණය හරහා,” යැයි ඔහු පැවසීය.

මී මැසි ජනගහනය පහත වැටීමේ ආර්ථික හා ආහාර සුරක්ෂිතතා ප්‍රතිවිපාක පිළිබඳව ද ආචාර්ය වික්‍රමාරච්චි අනතුරු ඇඟවූ අතර, මී මැස්සන් වඳ වී යෑමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 500ක පමණ ගෝලීය ආර්ථික පාඩු සිදුවිය හැකි බවත් එය ලොව පුරා ආහාර සුරක්ෂිතතාවට බරපතළ තර්ජනයක් විය හැකි බවත් පැවසීය.