March 7, 2026

ශ්‍රී ලාංකික කාන්තාවක් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැට්‍රෝබ් නිම්නයේ ග්‍රාමීය නිවසක මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙය ඝාතනයකින් පසු කළ සියදිවි නසාගැනීමක් ලෙස සළකා පොලිසිය විමර්ශනය කරයි.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ 47 හැවිරිදි චමින්දිකා ජයවර්ධනගේ සහ ඇගේ සහකරු වන 46 හැවිරිදි ඒරන් හැමන්ඩ්ගේ මළ සිරුරු මෙම සතිය මුලදී මෝර්වෙල් අසල හර්නස් ඕක් හි මැක්ග්‍රාත්ස් හි නිවසක තිබී සොයා ගත් බවයි.

දහවල් 12.15ට පමණ එම නිවාස වෙත හදිසි සේවා කැඳවූ අතර එහිදී නිවස තුළ මළ සිරුරු දෙක තිබී ඇත.

වාර්තාවලට අනුව, සෙනසුරාදා රාත්‍රියේ විශාල පිපිරුම් හඬ දෙකක් ඇසුණු බවත්, මුලින් එම ශබ්ද ගිනිකෙළි හෝ හිවලුන් ඉලක්ක කරගත් වෙඩි තැබීම් යැයි විශ්වාස කළ බවත් අසල්වැසියන් ප්‍රකාශ කර ඇත.

මරණ වටා ඇති නිශ්චිත තත්ත්වයන් තවමත් විමර්ශනය කරමින් පවතින බව වික්ටෝරියා පොලිසිය පැවසීය.

මොවුන් දෙදෙනා එකිනෙකා හඳුනන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් දැනට වෙනත් කිසිවකු වෙත අවධානය යොමු වී නොමැති බවත් බලධාරීන් තහවුරු කර තිබේ.

විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතී.