March 7, 2026

ගූගල් හි තමා පිළිබඳ පැරණි අන්තර්ජාල ප්‍රවෘත්ති වාර්තාවල සබැඳි ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ඉන්දියාවේ කර්ණාටක මහාධිකරණය හමුවට ගොස් ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන කලම්බු ටෙලිග්‍රාෆ් සහ ලංකා නිවුස් විසින් 2015 සහ 2020 දී ප්‍රකාශයට පත් කරන ලදැයි කියන අපහාසාත්මක ප්‍රවෘත්ති ලිපිවල සබැඳි ඉවත් කරන ලෙස ‘ගූගල් ඉන්ඩියා’ වෙත නියෝග කරන ලෙස ඉල්ලා විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් කර්ණාටක අධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.

කර්ණාටක මහාධිකරණයේ විනිසුරු සචින් ශංකර් මගදම් ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට සහ ගූගල් වෙත නොතීසි නිකුත් කළ අතර නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 16 දක්වා කල් තැබීය.

චෝදනා කරන ලද මතභේදයන්ට අදාළ නඩු පසුව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද නමුත්, ගූගල් සෙවුම් ප්‍රතිඵල හරහා ප්‍රවෘත්ති වාර්තා වෙත මාර්ගගතව ප්‍රවේශ වියහැකි බවත්, එය තම වෘත්තීය කීර්ති නාමයට හානි කරන බවත් විනිසුරුවරයා සඳහන් කර තිබේ.

ද හින්දු පුවත්පතට අනුව, ‘ගූගල් ඉන්ඩියා’ හි මූලස්ථානය බැංගලෝරයේ පිහිටා ඇති බැවින් තමන් ඉන්දියාවේ නඩුව ගොනු කළ බවත්, අන්තර්ජාලයෙන් යල් පැන ගිය අන්තර්ගතයන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී ‘අමතක වීමට ඇති අයිතිය’ මූලධර්මය ද උපුටා දැක්වූ බවත් විනිසුරු නවාස් සඳහන් කර ඇත.