July 2, 2026

ගෝලීය සංචාරක වේදිකාවක් වන ‘Big 7 Travel’ මඟින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ‘ලොව හොඳම දූපත් 50’ (The 50 Best Islands in the World) ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

දැන් එහි හත්වන වරටත් සංවිධානය කරනු ලබන මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබන්නේ, මීට පෙර ලැබුණු මාධ්‍ය ආවරණය, සමාජ මාධ්‍ය තුළ ඇති ජනප්‍රියතාවය, නැගී එන සංචාරක ප්‍රවණතා සහ ‘Big 7 Travel’ හි කර්තෘ මණ්ඩලයේ ඇගයීම් ආදී කරුණු රැසක් ඒකාබද්ධ කරමිනි.

අන්තර්ජාතිකව ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත රැසක් පසුපසට ඇදදමමින් ශ්‍රී ලංකාව මෙම පෙරමුණ ගෙන ඇති අතර, එහි සැතපුම් 833ක් දිගු වෙරළ තීරය, මීදුමෙන් බර වූ මධ්‍යම කඳුකරය, සශ්‍රීක තේ වතු, පොහොසත් සංස්කෘතික උරුමය සහ කැපීපෙනෙන ජෛව විවිධත්වය වෙනුවෙන් ඉහළ ඇගයීමක් ලැබී තිබේ.

ශ්‍රී ලංකාව මෙම ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගැනීමට ප්‍රධානතම හේතු ලෙස වනජීවී සෆාරි සඳහා ප්‍රසිද්ධ යාල ජාතික උද්‍යානය සහ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය පර්වත බලකොටුව වැනි සුවිශේෂී ආකර්ෂණීය ස්ථාන ද එම වේදිකාව විසින් පෙන්වා දී ඇත.

මෙහි දෙවන ස්ථානය ප්‍රංශ පොලිනීසියාවේ මෝරියා දූපතට හිමිව ඇති අතර, සෙසු ස්ථාන පිළිවෙලින් යේමනයේ සොකෝත්‍, පෘතුගාලයේ මඩෙයිරා සහ ඉක්වදෝරයේ ගලපගෝස් දූපත් ලබා ගනිමින් මුල් ස්ථාන පහ සම්පූර්ණ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය, ඉතිහාසය, වනජීවී සහ සංස්කෘතික විවිධත්වයේ සුවිශේෂී සම්මිශ්‍රණය නිසා එය වෙනත් කිසිදු ගමනාන්තයකට සමාන නොවන තැනක් බව ‘Big 7 Travel’ සඳහන් කරයි. මෙය ලෝක ප්‍රකට දේශගවේෂකයෙකු වූ මාර්කෝ පෝලෝ විසින් ශ්‍රී ලංකාව ‘එහි ප්‍රමාණයට සාපේක්ෂව මුළු ලෝකයේම ඇති අග්‍රගන්‍ය දූපත’ ලෙස හැඳින්වූ ප්‍රසිද්ධ ප්‍රකාශය නැවත සිහිගන්වන්නක් බවද ඔවුන් පවසයි.

2026 වසරේ ලොව හොඳම දූපත් 10

1. ශ්‍රී ලංකාව
2. මෝරියා, ප්‍රංශ පොලිනීසියාව
3. සොකෝත්‍රා, යේමනය
4. මඩෙයිරා, පෘතුගාලය
5. ගලපගෝස් දූපත්, ඉක්වදෝරය
6. ග්‍රේට් එක්සුමා, බහමාස්
7. සීෂෙල්ස්
8. අචිල් දූපත, අයර්ලන්තය
9. කෝ ලිපේ, තායිලන්තය
10. මිලෝස්, ග්‍රීසිය